නාකඳවිල ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය

                                                                                    සකස් කළේ: අයි.ආර්. නාලනී

                                                                                සංවර්ධන නිලධාරී

‘‘ඵලදායී සේවාවක් තුළින් ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රශස්ථ සභාව බවට පත්වීම’’

 

ව්‍යාපෘති නාමය :-  නාකඳවිල ඇල්ල සංවර්ධන ව්‍යාපෘතිය

හැදින්වීම:

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම මැතිවරණ කොට්ඨාශයේ තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වීරපාන බටහිර කොට්ඨාශයේ පිහිටා ඇති නාකඳවිල ඇල්ල දාකරඩුදෙණිය දොල මඟින් නිර්මාණය වී ඇති අඩි 25ක් පමණ උසැති මනස්කාන්ත දිය ඇල්ලකි. කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ එක් මායිමක පිහිටා ඇති මෙම නාකඳවිල ඇල්ල හමුවනුයේ වීරපාන බටහිර ග්‍රාම නිලධාරී වසමේ සිට මීටර් 600ක් පමණ දොල දිගේ ඉහළ ප්‍රදේශයට ගමන් කිරීමෙනි. ඉතා තද කළු පැහැති සුමට ගල් තලාවක් ඔස්සේ ඉහළට ගමන් කරන විට විවිධ භූ විෂමතා ලක්ෂණ පසු කරමින් ගලා යන දිය දහරාව පැමිණෙන ඕනෑම පුද්ගලයෙකුගේ සිත් වසග කරනු නොඅනුමානය. මෙහි පැමිණෙන සංචාරකයින්ගේ  විඩා නිවා ගැනීමට තරම් පහසුකම් සපයන ගල් තලාව මෙන්ම රමණීය වන ලැහැබ හා ස්වාභාවික නාන තටාකය මෙහි ඇති  සුවිශේෂීත්වය තවත් ඉහළ නංවයි.

මෙම නාකඳවිල ඇල්ල දිගේ ඉහළට ගමන් කරමින් කන්නෙලිය රක්ෂිතය වන ලැහැබට පිවිසිය හැකි අතර, දිය ඇල්ලක යෞවන අවධියේ දැක ගත හැකි භූ විෂමතා ලක්ෂණයක් වන ගල් වලවල්  නිර්මාණය  වී තිබීම ඉතාමත් විශ්මයජනක ය. ඇතැම් ගල් වලවල් වල වැඩුණු මිනිසෙකුට බැසීමට  හැකි තරම් ගැඹුරු ගල් වලවල්ය. විවිධ වැල් වර්ග වලින් වියන් ලෙස දිය කඳට ඉහළින් නිර්මාණය වී ඇති පාරිසරික ලක්ෂණ දිය ඇල්ල දිගේ ඉහළට ගමන් කරන්නන්ට මහත්  අත් වැලක් වනු ඇත. මෙම දිය ඇල්ලෙහි තවත් සුවිශේෂීත්වයක් ලෙස හැදින්විය හැක්කේ පතිරණ සාලයා නැමැති මත්ස්‍යා සොයා ගනු ලැබූවේ මෙම නාකඳවිල ඇල්ලෙනි. තවද, ඇල්ල පිහිටි රක්ෂිත වනාන්තරයේ බඹර වැල්, පුස් වැල්, බාං වැල්, බෙරලිය, හල්, හාතවාරිය ආදී ඖෂධීය වැල් වර්ග  මෙන්ම ශාක වර්ග රැසක් පවතින අතර, ඌරා,ගෝනා, හාවා, ඉත්තෑවා, මී මින්නා ආදී  සතුන්ද ජීවත් වේ.  වර්ෂාව අධික සමයේදී ඉතාමත් අලංකාරත්වයෙන් යුතුව දිය කඳ දෙබෑකරමින් පහතට ඇඳ හැලෙන මෙම දිය ඇල්ල තවලම ප්‍රාදේහීය සභාවට මෙන්ම දකුණු ලකටම මහත් සම්පතකි.

ව්‍යාපෘති ප්‍රදේශය:-

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වීරපාන බටහිර කොට්ඨාශයේ කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ ‍දාකරඩු දෙනිය දොල හරහා නිර්මාණය වී ඇති නාකඳවිල ඇල්ල කඩා හැලෙන සීමාවේ සිට මීටර් 600ක් පමණ දිගින් යුතු ප්‍රදේශය මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ වේ.

ව්‍යාපෘති ක්‍රියාවලිය

  •  පාලම අසල සිට දිය ඇල්ල  දෙසට ගමන් කිරීම සඳහා  කළු ගලින්   අඩි  පාරක් සකස් කිරීම.
  •  ඉහළ පිහිටි නාන තොටුපලෙහි ජලය රැස් කිරීම සඳහා බැම්මක් යෙදීම.
  •  පාලම අසල  ඇල දෙපස  ඇල කණ්ඩි  මීටර් 100ක් පමණ දුරක් වන සේ හා අඩි 03ක් පමණ උස කොන්ක්‍රීට් බැම්මක් යොදා පඩි පෙලක් ආකාරයට සකස් කිරීම.
  •  කාන්තා හා පිරිමි වශයෙන් ඇඳුම් මාරු කිරීමේ ස්ථානයක් සකස් කිරීම.
  • ස්වාභාවික පරිසරයේ දේවල් යොදා ගනිමින් ගිමන්හලක් සකස් කිරීම.
  • කාන්තා පිරිමි වශයෙන් වැසිකිළි දෙකක් සකස් කිරීම.

ව්‍යාපෘති පසුබිම

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති නාකඳවිල ඇල්ල ස්වභාව සෞන්දර්යෙන් අනූන වූ  පාරිසරික පද්ධතියක පිහිටා ඇති  ස්වාභාවික දිය ඇල්ලකි. මෙවන් වූ මනස්කාන්ත දිය ඇල්ලක  චමත්කාරය විඳදරා ගැනීමට සැලැස්වීම දෙස් විදෙස් සංචාරකයන්ගේ   මානසික හා ශාරීරික පීඩාවන් නිවා ලීමට තෝතැන්නක් වනු ඇත. තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පිවිසෙන සංචාරකයන්ට මෙම දිය ඇල්ල නැරඹීම සඳහා පහසුකම් සලසා දී එම ස්ථානයන්ට අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගත හැකි ස්ථාන සංවර්ධනය කිරීම තුළින් මෙම ස්වාභාවික සම්පත ඵලදායීව ජාතික ආර්ථිකයට දායක කර ගත හැකිය.

අරමුණු

මෙම දිය ඇල්ල සංවර්ධනය කිරීම මඟින් ස්වාභාවික සම්පත් පලදායී ලෙස භුක්ති වීඳීමට සැලැස්වීම.

  • මෙම දිය ඇල්ල දක්ෂිණ දේශයේ පමණක් නොව  සමස්ථ ලංකාවේම සංචාරක ආකර්ශනීය ස්ථානයක් ලෙස ජනප්‍රිය කරවීම
  • සමාජ ආර්ථික රටාව ඉහළ නැංවීම
  • සංචාරක කර්මාන්තය හරහා රටේ ආර්ථිකයට දායකවීම.
  • ග්‍රාමීය දේශීය ස්වාභාවික නිශ්පාදන අලෙවියට දායකත්වය ලබා දීම
  • ජනතාවගේ කායික හා මානසික තෘප්තිය ඉහළ නැංවීම

ඉලක්කගත කණ්ඩායම

  • තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිණෙන දෙස් විදෙස් සංචාරක ජනතාව

ප්‍රතිලාභීන්

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව
  • ප්‍රාදේශීය සභාව
  • පළාත් පාලන දෙපාර්තමේන්තුව
  • සංචාරක අමාත්‍යාංශය
  • සංචාරය සඳහා පැමිණෙන දේශීය විදේශීය ජනතාව
  • ග්‍රාමීය කර්මාන්ත දේශීය නිෂ්පාදන

තිරසර බව

මෙම නාකඳවිල දිය ඇල්ල කන්නෙලිය රක්ෂිත වනාන්තරය හරහා ගලා එමින් නිර්මාණය වී ඇති දිය ඇල්ලකි. එබැවින් මෙම දිය ඇල්ල ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නකි. එසේම මෙම දිය ඇල්ල අධික නියගය සහිත අවස්ථාවකද වුවද සිදී නොයන තත්වයක පවතී. වැසි අධික සමයේ ඉතා දැකුම් කළු චමත්කාර ජනක දර්ශනයක් කියා පාන මෙම දිය ඇල්ල  අධික ඌෂ්ණ සමයේ වුවද  සුන්දර දර්ශනයක් ලෙස දැක ගැනීමට හැකියාව ඇත. එසේම ග්‍රාමීය පරිසරයක ස්ථාන ගතවී ඇති බැවින් එහි තිරසර පැවැත්ම සුරක්ෂිත මට්ටමක පවතී.

ව්‍යාපෘති කළමානරණය

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සංචාරක අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා මඟ පෙන්වීම යටතේ දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි. තවලම ප්‍රාදේශීය සභාව මඟින් මෙම ව්‍යාපෘතිය සිදු කරගෙන යාම සිදු කරන අතර දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශය හරහා ප්‍රතිපාදන හිමි වනු ඇත. මෙහිදී ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි  කොන්ත්‍රාත්

කරුවන් මඟින් ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු ඉහත සඳහන් ආයතන හරහා සිදු කරනු ලබන අතර, ව්‍යාපෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමේදී මෙම ආයතනයන්හි උපදෙස් හා මෙහෙයවීමත් මත සිදු කරනු ලබයි. ව්‍යාපෘතිය හරහා ඉලක්ක ගත කර ගනු ලැබූ ප්‍රතිලාභීන්ට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි අයුරින් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ලගා කර ගැනීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය කළමනාකරණයේදී අධ්‍යයනය කරනු ලබයි.

ව්‍යාපෘති අධීක්ෂණය හා ප්‍රගති පාලනය

 මෙම නාකඳවිල ඇල්ල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ තවලම ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී ව්‍යාපෘතිය මඟින්  අපේක්ෂිත අරමුණු හා  පරමාර්ථ කරා ලගා වීමට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමේ වගකීම ප්‍රාදේශීය සභාව සතුය.  අඛණ්ඩ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ උසස් ප්‍රමිතියකින් යුත් සංවර්ධන ව්‍යාපෘතියක්  සිදු කිරීම මෙහිදී බලාපොරොත්තු වේ.

ස්ත්‍රී / පුරුෂ සමාජභාවය

මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලබා දීමේදී කාන්තා පාර්ශවයට හා පුරුෂ පාර්ශවය යන කොටස් දෙකටම ප්‍රතිලාභ හිමි වන අතර මෙහිදී ග්‍රාමීය නිෂ්පාදන අලෙවිය හා ස්වයං රැකියා සිදු කිරීම තුළින් කාන්තාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වනු ඇත.  ගම්මිරිස්, කුරුඳු වැනි සුළු අපනයන බෝග මෙන්ම කිතුල්පැණි, කිතුල් හකුරු හා රස කැවිලි අලෙවිය නවාතැන් පහසුකම් සැපයීම හා  ආහාර සැපයීම හරහා කාන්තාවන් දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම

මෙම  ව්‍යාපෘතිය සිදු කිරීමේදී දිය ඇල්ලට මෙන්ම දිය ඇල්ල අවට පාරිසරික පද්ධතියටද කිසිදු හානියක් නොවන  අයුරින්   සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. එනම් දිය ඇල්ලේ ගලා බසින දොල ඉවුරු ඛාදනය වී ඇති ස්ථායන්හි බැමි දැමීම. දිය අල්ලට පිවිසෙන මාර්ගයේ ඇල්ල සැකසීම නාන තටාකය ඉදිකිරීම හා ඇඳුම් මාරු කරන ස්ථාන හා ගිමන්හලක් සෑදීමේදී මෙම පරිසර පද්ධතියෙන්ම ලබා ගත හැකි ස්වාභාවික පාරිසරික සම්පත් යොදා ගනිමින් නිර්මාණය කරන බැවින් එහි සුන්දරත්වයට මෙන්ම ස්වභාවිකත්වයටද කිසිදු හානියක් සිදු නොවේ.

එසේම ප්‍රාදේශීය සභාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම හා සංචාරකයින්ගේ පැමිණීම සිදු  කෙරෙන බැවින් අතුරු ව්‍යවස්ථා නිර්මාණය හරහා  ඒ සඳහා ඇතිවන පාරිසරික බලපෑම වලක්වා ගැනීමට කටයුතු කරයි. තවද දිය ඇල්ල පිහිටි පාරිසරික කලාපයේ ශාක හා සත්ත්ව විශේෂයන්ට  හානි දායක වන අයුරින් කිසිදු ක්‍රියාකාරකමක් සිදු නොකරනු ලබන අතර මේ සඳහා අඩවි වන නිලධාරී කාර්යාලයේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟ පෙන්වීම කරනු ලබයි.

පරිසර සංරක්ෂණය හා පරිසර සුන්දරත්වය ආරක්ෂා වන අයුරින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් සිදු වන පාරිසරික බලපෑම ඉතාම අවම මට්ටමක පවතිනු ඇත.

විධායක සාරාංශය

දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලැබූ යෝජනාවකට අනුව තවලම ප්‍රාදේශීය සභාව මඟින් හඳුනා ගනු ලැබූ සංචාරක අකර්ශනීය ස්ථානයක් ලෙස නාකඳවිල දිය ඇල්ල හඳුනා ගත හැකිය.  කන්නෙලිය රක්ෂිත වනාන්තරය හරහා  ඇඳ හැලෙන ඖෂධීය ශාක  අඩංගු පිරිසිදු  සීතල ජල කඳ චමත්කාර ජනක අන්දමින් දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ට  පහසුකම් සලසා දීම හා එමඟින් රටේ ආර්ථිකයට සෘජුව හා වක්‍රව විවිධ පැතිකඩ ඔස්සේ දායක වීමට මෙම ව්‍යාපෘතිය මඟින් අවස්ථාව හිමි වනු ඇත.

හඳුනා නොගත් ස්වාභාවික සම්පත්  මනාව හඳුනාගෙන එය මහජනතාවගේ ශාරීරික හා මානසික තෘප්තිය සඳහා විවර  කර දීමට සංචාරක අමාත්‍යාංශය මඟින් ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් වන මෙම ව්‍යාපෘතිය තවලම ප්‍රාදේශීය  සභාව මගින් මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබයි. එහිදී ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සංචාරක අමාත්‍යාංශය මගින් ලබා දෙන අතර එහි අධීක්ෂණය හා මාර්ගෝපදේශකත්වය  දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබමින් තවලම ප්‍රාදේශීය සභාවේ දායකත්වය යටතේ නිවැරදි ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලැබූ ලියාපදිංචි කම්කරුවන් මගින් මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කර ගෙන යාමට  අපේක්ෂිතය.

පැමිණෙන සංචාරකයින්ගේ සුඛ විහරණය සලසමින්  තවලම ප්‍රාදේශීය සභා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහළ නැංවීමද මෙම ව්‍යාපෘතියේ ඉහල  අරමුණු වේ. එමගින් මෙම ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබන ග්‍රාමීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා ඇලෙවිය සිදු කිරීමද තවත් අරමුණක් ලෙස හැදින්විය හැකිය.  සකස් කරනු ලැබූ ඇස්තමේන්තු හා කාල රාමුවට අනුව සිදු කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාකාරකම් මේ සමඟ සම්බන්ධ වන රාජ්‍ය ආයතනයන්හි හා ඒ හා සම්බන්ධ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා මඟ පෙන්වීම යටතේ සිදු වන අතර පසු විපරම් සිදු කරමින් ව්‍යාපෘති ඇගයීමද සිදු වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි ආර්ථික සමාජීය ප්‍රගති විශ්ලේෂණය කිරීමද ඉතා වැදගත් වන අතර එමගින් රටේ සංවර්ධනය වීමටද දායක විය හැකිය.

ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන අයුරින් පාරිසරික බලපෑම් අවම වන ආකාරයට  කිරසර පැවැත්මක් සඳහා අධීක්ෂණ සිදු කරමින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම මඟින් තවලම ප්‍රාදේශීය සභාවට පමණක් නොව දකුණු ලකටම නව සංචාරක ස්ථානයක් ලෙස මෙය ඉතා වැදගත් ස්ථානයක් වේ යැයි විශ්වාස කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Translate »
Need Help? Chat with us