Home » තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංචාරක ස්ථානවල නම්

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංචාරක ස්ථානවල නම්

පනංගල රද්දල්ගොඩ වලව්ව –

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ  හිනිදුම පත්තුවේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ  එප්පල ග්‍රාම නිලධාරී වසමේ  මෙම වලව්ව පිහිටා ඇත. අවුරුදු 250ක පමණ  පැරණි ඉතිහාසයකට  හිමිකම් කියන මෙම වලව්ව ඇන්ඩ්‍රියාස් රද්දල්ගොඩ  විදාණ ආරච්චිතුමා විසින්  සාදන ලද්දකි.  ඉන්පසු ඔහුගේ පුත්‍රයකු වූ නිකලස් රද්දල්ගොඩ මැතිතුමා  මෙම වලව්වේ  වාසය කර ඇත. ඔහු හිනිදුම් පත්තුවට සාමදාන විනිශ්චයකාරයෙක් සහ නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස  සේවය කර ඇත.  මෙම වලව්ව පිහිටා ඇති භූමිය අක්කර තුනකින් පමණ සමන්විත වන අතර,  වලව්වට අයත්  අක්කර 20ක පමණ  ඉඩකඩම් අවට  ප්‍රදේශයෙහි  ඇත.  මෙම ඉඩම්වල  තේ වගාව  සිදු කර ඇති අතර,  වගා නොකළ ඉඩම්ද ඇත.  හිනිදුම  මාපලගම මාර්ගය හා උඩුගම හිනිදුම මාර්ගය  ඉදිකිරීමේදී  මෙම මුදලිතුමා  ප්‍රමුඛත්වය දී ඇත.  අප රටේ විසූ සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමා පවා  මෙම වලව්වට  පැමිණ ඇත.  එවකට විසූ ඒජන්තවරයා සමඟ  මුදලිතුමා  පෙනී සිටි ඡායාරූප පවා  මෙම වලව්වේ  දක්නට ඇත. වලව්වේ පැරණි ස්වභාවයට හානි නොවන අයුරින්  නව ප්‍රතිසංස්කරණ සිදු කර ඇති අතර,  පැරණි ගෘහ භාණ්ඩ සහ  මැද මිදුල මෙන්ම  දොර ජනෙල්ද  පැරණි ස්වභාවයෙන්ම පවතී.  ඉන් අනතුරුව මෙම මුදලිතුමාගේ පුතු වන දයාසේනක රද්දල්ගොඩ මහතා මෙම වලව්වේ වාසය කර ඇති අතර මීට වසර පහකට පමණ ඉහතදී ඔහු මිය ගොස් ඇත.  ඔහුගේ භාර්යාව වන සිනීතා රද්දල්ගොඩ මැතිණිය මෙම වලව්වේ  දැනට වාසය කරයි.

පනංගල ගංගාරාම විහාරස්ථානය-

 දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ  හිනිදුම පත්තුවේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පනංගල ග්‍රාම නිලධාරී වසමේ  මෙම ගංගාරාම විහාරස්ථානය පිහිටා ඇත. වසර 200ක් පමණ ඉතිහාසයක් ඇති මෙම විහාරස්ථානය බුද්ධ වර්ෂ 2373දී  ඉදිකර ඇත. ඈත අතීතයේ මෙම ප්‍රදේශයට ජනතාව පැමිණ ඇත්තේ ගිං ගඟ ඔස්සේ පාරු මගිනි. මෙලෙස යන අතරතුරදී මෙම පනංසල පිහිටි ස්ථානයෙන් මගින් ගොඩ බැස  එම ස්ථානයේ පැවති ගල මත  පහනක් පත්තු කර යාම සිරිතක් වී ඇත.  මෙම පහන පත්තු කල ගල පසු  කලකදී පහන්ගල වී මැත කාලය වන විට පනංගල බවට පත්වී ඇත.

පසුකලක මෙම ස්ථානය දුටු ස්වාමීන්වහන්සේ නමක් මෙම ස්ථානයේ පන්සලක් ඉදිකිරීමට යෝග්‍ය බව  පවසා මෙම ගල මත විහාර ගෙයක් සාදා ඇත. මෙම විහාර ගෙය සාදා ඇත්තේ  බු.ව. 2373දී වන අතර, බු.ව. 2449 වසරේදී  මංජු ශ්‍රී මහතා විසින්  මෙම විහාරගෙයි බිතු සිතුවම් සංරක්ෂණය වන පරිදි ප්‍රතිසංස්කරණය කර ඇත. මෙම විහාරයෙහි ඇති බිතු සිතුවම් මහනුවර යුගයේ චිත්‍ර වලට නෑකම් කියන අතර,  බුදු පිළිම වහන්සේද එම යුගයට සමාන ස්වරූපයක් උසුලයි. ගල මත ඉදිකර ඇති මෙම විහාර ගෙය  ගල් පඩි  මඟින් අලංකාර කර ඇති අතර, කොස් ලීයෙන් නිම කල  දැව කඳන් මඟින් උළුවහු සකසා ඇත.  මෙම පිළිම  වහන්සේ  ස්ථානගතකර ඇති ආසනය අභ්‍යන්තරයෙහි වටිනා පුස්කොළ පොත් සහිත  වස්තූන් ඇතැයි  පැවසේ. තවද, මෙම ස්ථානයේ ඇති ප්‍රධාන සංඟාවාසය එම යුගයේ ඉදිකර ඇති අතර,  සුළු සුළු ප්‍රතිසංස්කරණයන් සිදු කර වර්තමානය වන විට භාවිතයට ගනිමින් පවතී. මෙම විහාර ගෙය ඉදිකර ඇති ගල් තලාව  විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති ගල් තලාවක් වන අතර, වර්තමානයේ ඉදිකර ඇති තාප්ප මඟින් එම ගල්තලාව වැසී ගොස් ඇත. තවද මෙම ගංගාරාම විහාරස්ථානය පිහිටි භූමියට යාබඳව ඉතා පැරණි ගලින් නිම කර අඩි 12ක් පමණ  ගැඹුර ඇති ගම් සභා ළිඳක් මේ වන විටත් දැක ගැනීමට හැකිය.

තවද, අනගාරික ධර්මපාලතුමන් හිනිදුම්පත්තුවට පැමිණි අවස්ථාවන්හිදී මෙම විහාරස්ථානයේ හිදිමින්  මෙම ප්‍රදේශයට සේවය කර ඇති බව  පවසනු ලබයි. ඒ අනුව බැලීමේදී මෙම විහාරස්ථානය වසර 200කට වඩා පැරණි විහාරස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය. ශාස්ත්‍රවේදී හිනිදුම තිලකානන්ද හිමිපාණන් මෙහි භාරකාරත්වය දරනු ලබයි. 

හිනිදුම මහාබෝධිවත්ත වතු යාය –

ඈත අතීතයේ   හිනිදුම්පත්තුවේ ගමනා ගමන මාධ්‍යය  වූයේ ගිං ගඟයි. එකල  එම මාර්ගය ඔස්සේ  මෙම ප්‍රදේශයට පැමිණි කන්‍යා සොයුරියන්  තිදෙනෙකු විසින් මෙම ප්‍රදේශයේ  ජනතාවට තම දිවි පැවැත්ම  ගෙන යාමට අතහිත දෙමින්  ඔවුන්ට උදව් කරමින්  කටයුතු සිදු කර ඇති අතර,  පසු කලකදී පල්ලිය මුල් කර ගත් සමාජ වටපිටාවක් බිහි වී ඇත.  මෙලෙස  කතෝලික ආගම වැළඳ ගනිමින්  පැතිර යන පිරිස  වැඩි වීමත් සමඟ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා  වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා සමඟ එක්ව හිනිදුම්පත්තුවට පැමිණ  බෞද්ධ ජනතාව පල්ලියේ බලපෑම් වලින් මුදවා ගැනීමට කටයුතු සිදු කර ඇත.

පනංගල ගංඝාරාම විහාරස්ථානයේ සිට එතුමා විසින් දියත් කරනු ලැබූ සිංහල ජනතාව වෙනුවෙන්  සිදු කළ සේවය  අති මහත් වන අතර,  1884දී  හිනිදුම මහාබෝධිවත්ත මිලදී ගැනීම හා සිංහල බෞද්ධ ජනතාවට ජීවනෝපායන් සලසා දීම  අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම කැපී පෙනෙන කාරණාවන් අතර වේ.  මෙහිදී අක්කර 117 පර්චර්ස් 17ක් වන  මහා බෝධිවත්ත මිලදී ගෙන  එහි තේ වගාව සිදු කර  සිංහල බෞද්ධ ජනතාවට ජීවත් වීමට මාර්ගය සලසා දී ඇති අතර,  පනංගල මහා බෝධි විද්‍යාලය හා  හිනිදුම මල්ලිකා විද්‍යාලය ආරම්භ කර ඔවුන්ගේ අධ්‍යාපන තත්ව ඉහල නැංවීමට කටයුතු සිදු කර ඇත.  රු. 3000.00ක මුදලකට මෙම මහා බෝධි වතු යාය මිලදී ගෙන ඇත.

හිනිදුම ශාන්ත ආනා දෙව්මැදුර හා කල්වාරි කන්ද පුදබිම –

හිනිදුම්පත්තුවේ  තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉපැරණිම ආගමික සිද්ධස්ථානයක් ලෙස හිනිදුම ශාන්ත ආනා දෙව් මැදුර  හඳුන්වා දිය හැකිය. ඈත අතීතයේ  හිනිදුම්පත්තුවේ ජනතාව ඉතා ප්‍රාථමික ජීවිතයක් ගත කර ඇති අතර,  1850 වර්ෂය වන විට මෙම ප්‍රදේශයට  කන්‍යා සොයුරියන් තිදෙනෙක් පැමිණ ඇත. ඉන්නේෂියා සොයුරිය මේ අතර ප්‍රධාන වේ. ගිං ගඟ ආශ්‍රිතව තම වාසස්ථාන පිහිටා ගත් මොවුන් මෙම ප්‍රදේශයේ ජනතාවට  තම ජීවන පැවැත්ම  සකසා ගැනීමට  දැනුම් ලබාදීම හා උදව් උපකාර සිදු කර ඇත.   මෙහි ප්‍රතිපලයක් ලෙස  බෙල්ජියම් ජාතික පියතුමන් තිදෙනෙක් මෙම ප්‍රදේශයට පැමිණ  කුඩා දෙව් මැදුරක් සාදාගෙන ඇති අතර,  ශාන්ත ආනා වතු යාය මිලදී ගෙන පල්ලිය සතු කර ගනු ලැබීය.  තවද, මෙම වත්ත ආශ්‍රය කරගෙන  ශාන්ත ආනා විද්‍යාලයද ශාන්ත ආනා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයද ආරම්භ කර ඇත. ඊට අමතරව අනාථ දරුවන් සිටින නිවාසයක්ද තිබී ඇති අතර,  මෙහි අනාත දරුවන් 300ක් පමණ  රඳවාගෙන  අධ්‍යාපනය ලබා දී ඇත.  දැනට  පවතින දෙව් මැදුර තෙවන වතාවට සාදන ලද දෙව් මැදුර වන අතර,  මෙම දේව මන්දිරයේ  පෞරාණික ජප මාලයක්ද පවතී. මෙම ජප මාලය මෙම ප්‍රදේශයට පැමිණි ඉන්නේෂියා කන්‍යා සොයුරියගේ බව පැවසේ.  තවද 1905 වර්ෂයේදී  බෙල්ජියමේ සිට  ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූ සුරුවන් දෙකක් ගිං ගඟ ඔස්සේ  මෙම දේව මන්දිරයට රැගෙන විත්  මෙහි තැන්පත් කර ඇත. ඉන්  එක් සුරුවමක් දේව මාතාවන්ගේ වන අතර  අනෙක් සුරුවම ජේසුස්තුමන්ගේ සුරුවමකි.

මෙම දේව මන්දිරය භාරව සිටි ගරු සිරිල් එදිරිසිංහ පියතුමාගේ සමයේදී  දේවස්ථානය ඉදිරිපිට ඇති කඳු ගැටය පිළිස්සී ගිනි ගෙන ඇත. මෙම ගින්නෙන් දැවී අළු වී ගොස් අවසනායේ  දක්නට ලැබී ඇත්තේ  කුරුසයේ හැඩය ගස් පිළිස්සී ගිය කම්පොත්තා ගසක් පමණි. එවිට මෙම පියතුමන් හට එම ස්ථානයේ  කල්වාරි පුදබිම නිර්මාණය කිරීමට අදහසක් ඇති වී ඇති අතර,  1948 වර්ෂයේ  අඩි පාරක් සළකුණු කර පහල සිට ඉහළට ස්ථාන 14ක් නම් කර  එම ස්ථාන 14හි ලී කුරුස නිර්මාණය කර ඇත. පසු කලකදී කොන්ක්‍රීට් වලින් මෙම කුරුස නිර්මාණය කර ඇති අතර, පාද නමස්කාරය සඳහා ප්‍රතිමා 14ක්  ඉදිකර ඇත. ක්‍රිස්තුත්වහන්සේට විරුද්ධව විභාග නඩු තීන්දුවේ සිට ක්‍රිස්තුත් වහන්සේගේ ශ්‍රී දේහය සොහොන් ගැබේ තැන්පත් කිරීම දක්වා වූ අවස්ථා 14න්  උන්වහන්සේගේ  ජීවන චරිතයේ  වැදගත් සිදුවීම් කියාපායි. වසර 108ක පමණ පැරණි ඉතිහාසයක් ඇති මෙම දෙව් මැදුරෙහි බෙනිපස් පෙරේරා මහතා සේවය කරයි.

වර්ෂ 1958.02.23 වන දින  ගාලු රදගුරු තැන්පත් අති උතුම් ධර්මාචාර එන්.එම්. ලෞද්‍රියෝ ස්වාමීන් වහන්සේ විසින් මෙම කල්වාරිය කැප කොට  පාද නමස්කාර ස්ථාන ආශිර්වාද කිරීමෙන් පසුව මෙමම දෙව් මැදුරෙහි ඉරු දින දිව්‍ය පූජාව සිදු කරනු ලැබීය.  මෙහි ඇති විශේෂත්වය නම්,  මඩු පල්ලියේ අප ස්වාමි දුවට කැප කරන ලද මඩු දේවස්ථානය හා සමාන වූ පුද බිමක් ලෙස  මෙම කල්වාරී දේවස්ථානය හැඳින්වීමයි.  දින 45කින් සමන්විත වූ  චතාරික සමයේදී  ජාති, ආගම්, කුල බේදයකින් තොරව  විශාල ජනකායක්  මෙම පුදබිමට පැමිණෙන  විදේශීය කතෝලිකයන්ද මේ අතර වේ.  මෙය ලංකාවේ දෙවැනි පැරණිතම කන්ද හා ස්වාභාවික එකම කල්වාරී කන්ද ලෙසද හදුනාගෙන ඇත.  අක්කර 213 කින් යුක්ත ශාන්ත ආනා වතුයායේ තම ජීවිකාව සවිකර ගන්නා  පිරිසක්ද මේ අතර වේ.  මෙම හිනිදුම දේවස්ථානයේ  ශ්‍රී කුරුසයේ ශුද්ධ වූ ධාතුවද තැන්පත් කර ඇත.

හිනිදුම මල්ලිකා මහා විද්‍යාලය හා පනංගල මහාබෝධි මහා විද්‍යාලය –

අනගාරික ධර්මපාලතුමා හිනිදුම්පත්තුවට  පැමිණි සමයේදී  කතෝලිකයන් විසින්  ප්‍රදේශයේ බෞද්ධ ජනතාව  අනිසි ආකාරයට  කතෝලිකයන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලක්  පවත්වාගෙන ගොස් ඇති අතර,  ශාන්ත ආනා වතුයාය ශාන්ත ආනා විදුහල  හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය  හරහා  ඔවුන්ගේ පාලනය සිදු කරනු ලැබීය.  මෙය දුටු අනගාරික ධර්මපාලතුමා විසින්  ශාන්ත ආනා වතු යාය වෙනුවට  මහා බෝධිවත්තද   ශාන්ත ආනා විදුහල වෙනුවට  පනංගල මහාබෝධි විද්‍යාලය හා හිනිදුම මල්ලිකා විද්‍යාලයද  ශාන්ත ආනා දෙව්මැදුර වෙනුවට ගංඟාරාම විහාරස්ථානය ආරම්භ කිරීමට  කටයුතු සිදු කරනු ලැබීය. 1905දී පමණ  ආරම්භ කරනු ලැබූ මෙම පාසල්  ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අධ්‍යාපන කටයුතු වලට විශාල පිටුවහලක් විය.

පනංගල කලුගල පොකුණ –

පනංගල නැගෙනහිර  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් පනංගල පොකුණ ලෙස හදුන්වන ස්ථානය  මෙම ප්‍රදේශයේ ස්වාභාවික අලංකාරත්වය ගෙන දෙන ඉතා දර්ශනීය ස්ථානයකි. පනංගල මහාබෝධි විද්‍යාලය අසලින් ඇති මාර්ගයේ කි.මී. 01ක් පමණ ඇතුලින් ගමන් කරන විට එම ස්ථානය දැකගත හැකි වන අතර, කන්නෙලිය රක්ෂිතයෙන් ඇද හැලෙන දිය ඇල්ලකින් මීටර් 400ක් පමණ දුරක් ගෙවා ගොස් කලු ගලක් මතින් ගලා යන ජලය එක්රැස්ව මෙම පොකුණ නිර්මාණය වී ඇත. අඩි අටක් නවයක් පමණ ගැඹුරකින් හා අඩි දහයක් පමණ දිගකින් හා  අඩි 25ක් පමණ පළලකින් සමන්විත වන මෙම පොකුණ  පනංගලින් ගිං ගඟට සම්බන්ධ වේ. දෛනිකව මෙම ස්ථානයේ  විනෝදවීමට හා දිය නෑමට  විශාල පිරිසක් පැමිණෙන අතර,  කල්වාරී පූජා සමයේදී  එම පිරිසේ වැඩිවීමක් දක්නට ලැබේ.

කළුවල නාන තටාකය –

පනංගල උතුර ග්‍රාම නිලධාරී වසමේ පනංගල උතුර අක්කර විසිපහ මාර්ගය අවසානයේ  කන්නෙලිය රක්ෂිතයෙන් ආරම්භ වන දොලකින්  ගලා එන දිය දහරාවේ මෙම කළුවල නිර්මාණය වී ඇත.  කළුවලේ සිට කි.මී. 01ක් පමණ දුර ගලා යන ජලය පනංගලදී ගිං ගඟට සම්බන්ධ වේ.  මෙම කළුවල නාන ස්ථානය  වර්තමානය වන විට  සංවර්ධනය කර ඇති අතර,  ඉදිරියේදී  ආදායමක්  ලබා ගත හැකි මට්ටමින්  ප්‍රාදේශීය සභාවේ පාලනය යටතට ලබා ගැනීමට අපේක්ෂා කරයි.

කිතුල්දොල ඇල්ල –

තලංගල්ල නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ  පිහිටා ඇති මෙම කිතුල්දොල ඇල්ල කි.මී. 1 ½ක් පමණ ගලා ගොස්  තලංගලු ඇලට සම්බන්ධ වේ. අඩි 25ක් පමණ පහතට ඇද හැලෙන දිය ඇල්ලකින්  නිර්මාණය වන  මෙම ඇල්ල අඩි 6 ½ ක් පමණ පළලට විහිදී යයි.  දාම්මල රක්ෂිතයට  අයත්  වන මෙම භූමිය  පිහිටා ඇති පරිසරය ඉතා අලංකාර ස්වභාවයෙන් හා සුන්දරත්වයෙන් අනූනව පවතී.

ආංගිරි ඇල්ල –

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කුඩුගල්පල ග්‍රාම නිලධාරී වසමේ මෙම ඇල්ල පිහිටා ඇත.  තවලම බටහේන හංදියේ සිට පිටිගල මාර්ගය ඔස්සේ ගොස්  කුඩුගල්පල මාර්ගයට හැරී මීටර් 400ක් පමණ දුර ගමන් කර හල්ලකන්ද මාර්ගය ඔස්සේ  තවත් කි.මී. එකහමාරක් පමණ ගමන් කල පසු මෙම ඇල්ලට ලගා විය හැකිය.  වේවැල්දොල ලෙස හඳුන්වන ලබන දොල ආශ්‍රය කර ගනිමින්  මෙම ආංගිරි ඇල්ල නිර්මාණය වී ඇති අතර,  මෙම දොල දිගේ මීටර් 400ක් පමණ පහලට ගමන් කල විට මෙම ආංගිරි ඇල්ල හමු වේ.  ගල් පර මතින් අඩි 12ක් පමණ පහතට ඇද හැලෙන ඇල්ල ව.කි. 100ක් පමණ විශාලත්වයකින් යුක්ත දිය වලක් ලෙස දක්නට ලැබේ. ගල්පර මතින් ඇද හැලෙන දිය කඳින් මෙම දියවල නිර්මාණය වී ඇත. එබැවින් මෙම ස්ථානය නිතර ජලය රඳා පවතින ස්ථානයකි. වර්ෂාව සහිත කාලයේදී අඩි පහක් හයක් පමණ ගැඹුර මෙම ස්ථානය  වර්ෂාව සහිත කාලයේදී ගැඹුරු මට්ටම තවත් වැඩි වේ. ස්වභාවික පරිසර පද්ධතියකින් නිර්මාණය වී ඇති මෙම දිය ඇල්ල  අවට ප්‍රදේශය ඉතා සුන්දර මෙන්ම රමණීය ස්වභාවයක් ගනු ලබන අතර සංචාරකයින්ට ගිමන් නිවා ගැනීමට මහත් තෝ තැන්නකි. තවලම ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී ප්‍රියන්ත සේනාධීර මැතිතුමාගේ  යෝජනාවක් මත ආංගිරි ඇල්ල සංවර්ධනය කර සංචාරකයින්ට නැරඹීමට හා විනෝදවීමට හැකි අයුරින් සකස් කර ඇති අතර මේ සඳහා අවශ්‍ය පහසුකම් ද සපයා ඇත. ඉදිරියේදී ප්‍රාදේශීය සභාවට මෙමගින් ආදායමක් ලබා ගැනීමටද අපේක්ෂා කරනු ලබයි.

නුගගල ආරණ්‍ය සේනාසනය –

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හිනිදුම ග්‍රාම නිලධාරී වසමට අයත් ඉතා රමණීය  ස්ථානයක පිහිටි මෙම ආරණ්‍ය සේනාසනය 1954 මැයි මස  04 වන වෙසක් පොහෝ දින ආරම්භ කර ඇත.  මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීම හා  මුල් වී ඇත්තේ හබරකඩ අමරසිංහ රාළහාමී හා ජේ.වී.  කරුණාරත්න මහතා හා උලගොඩුවේ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේය. ඉන්පසු 1972 වර්ෂය දක්වා  මෙම ස්වාමීන් වහන්සේගේ ගෝල පිරිස විසින් මෙම ආරණ්‍ය සේනාසනය පවත්වාගෙන ගිය අතර 1973 වසරේ සිට පූජ්‍ය යාලහල සුමනජෝති  ස්වාමීන් වහන්සේ විසින් මෙම ආරණ්‍ය සේනාසනය වැඩිදියුණු කර සංවර්ධනය කරමින් පවත්වාගෙන යනු ලබයි. ගල මත නෙලූ  ඉතාමත් අලංකාර ප්‍රතිමා නිර්මාණය මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති විශේෂත්වයයි. බුදුන්වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිණිවන් පෑම යන තෙමගුල  ගලින් නිර්මාණය කර ඇති අතර,  ගණදෙව් රූපයක් හා අවුකන පිළිම වහන්සේගේ අනුරුවක්ද ගලින් නිර්මාණය කර ඇත. විෂ්ණු දෙවියන්, සමන් දෙවියන් ඇතුලු තවත් දෙවිවරු කිහිප දෙනෙකුගේ පිළිරුව සිමෙන්තියෙන් නිර්මාණය කර ඇති අතර, කළුගල මත නෙලා ඇති අලි රූපය උන්වහන්සේගේ නිර්මාණාත්මක හැකියාව තවත් ඔප මට්ටම් කර පෙන්වනු ලබන අතර,  මෙම ගල මත අලි රූපය නෙලා ඇත්තේ  මෙම ස්ථානය හරහා අලින් ගමන් කල බැවිනි. විශාල දායක පිරිසකගෙන්සමන්විත වන මෙම ආරණ්‍ය සේනාසනය ස්වාභාවික විපත් නොනැසෙන ආකාරයට පවතින අතර,  ආරණ්‍ය සඳහා පිවිසීමට  හිනිදුම  ලකී තේ කර්මාන්තශාලාව ඉදිරිපිටින් මාර්ගයක් පවතින අතර, මෙම නුගගල මාවත ලෙස හඳුන්වයි. ගම්මානය දක්වා මාර්ගය සකස් කර ඇති නමුත් අරණ්‍ය සඳහා පිවිසීමට සිදු වන්නේ  වන ලැහැබක් ඔස්සේ  කන්ද තරණය කිරීමෙනි.

මෙය නුගගල ලෙස හැදින්වීමට හේතුව ගල් පර්වතයන් මත නුග ගසක් තිබීම වන අතර,  මෙම නුගගස පවතින ගල අභ්‍යන්තරයෙහි බුදු ගෙය නිර්මාණය කර ඇත. එසේම බුදුන්වහන්සේ පරි නිර්වාණය  දක්වන  පිළිම වහන්සේ  අබා ඇති ස්ථානයේ විශාල සල් ගසක්ද පිහිටා ඇත.

හුදෙකලා රමණීය ස්ථානයක් ව මෙම ස්ථානය නැරඹීමට හා වන්දානා කිරීමට විශාල පිරිසක් පැමිණේ.

පත්තුවේ වලව්ව –

ඉංග්‍රීසි පාලනය යටතේ  ප්‍රාදේශීය වශයෙන් පරිපාලන කටයුතු සිදු වූයේ මුදලි තුමාගේ අනුග්‍රහය යටතේය. එවකට ලංකාවේ ගාලු කඩවත් සතර  තල්පෙ පත්තුව, වැල්ලෙබඩ පත්තුව, ගඟබඩ පත්තුව, බෙන්තර වලල්ලාවිට කෝරලය හා හිනිදුම්පත්තුව වශයෙන් කොටස් වලට බෙදා තිබුණි. මේ සෑම පරිපාලන ඒකකයකටම මුදලිවරු පත්කර තිබුණි. හිනිදුම්පත්තුවේ සිටි පළමු මුදලිතුමාගේ නිල නිවස  පත්තුවේ වලව්ව ලෙස හඳුන්වයි.  වසර 170ක පමණ ඉතිහාසයකට උරුමකම් කියන මෙම වලව්ව වර්තමානය වන විටද  හොඳ මට්ටමින් පවතී. හිනිදුම්පත්තුවේ මුදලිතුමා ලෙස පත් කරනු ලැබූ ඒ.එස්.වික්‍රමනායක කරුණාරත්න මුදලිතුමා 1850දී උපත ලබා  1928 වර්ෂයේදී  මිය ගොස් ඇති අතර,  හිනිදුම  ලකී තේ කම්හල ඉදිරිපිට මාර්ග අසල මෙතුමා හා මෙතුමාගේ  බිරිදගේ සොහොන් අදටත් දක්නට ලැබේ.

තවද මෙම වලව්වේ පැරණි තැපැල් කන්තෝරුවක්ද පවත්වාගෙන ගොස් ඇත. පත්තුවේ වලව්ව පිහිටි ඉඩම අක්කර පහකින් පමණ යුක්ත වන අතර ඇතුලත හා පිටත ඉස්තෝප්පු දෙකකින් යුක්තව ඉදිකර ඇත. නිදන කාමර 03කින් සහ කෑම කාමරයකින් සමන්විත මෙම වලව්ව තනි කොස් ලීයෙන් උළුවහු දොර ජනෙල් නිමවා ඇති අතර, අලංකාර කැටයම්ද දැකගත හැකියි. සෑම දොරකටම පියන් 04ක් ඇත. උළුවහු කඳන් අගල් 87ක් පමණ ගණකමින් යුතුය. බිම් සකස් කර ඇත්තේ මැටි ගඩොලිනි. ඉස්තොප්පුවේ සවිමත් ලී කණු ඇති අතර, මුදලිතුමා වැරදිකරුවන්ට වේවැලෙන් තලා දඩුවම් ලබාදී ඇත්තේ මෙම කණුවලට තබා  ගැට ගැසීමෙනි.  මෙම වලව්වේ හිමිකාරත්වය  මේ වන විට තුන්වන පරම්පරාවට හිමිව ඇති අතර,  අදවන විට එම වලව්ව වෙනත් පුද්ගලයෙකු විසින් මිලදී ගෙන ඇත.  මෙම වලව්වෙහි ස්වාමීන්වහන්සේලා 49 නමක් වස් වසා තිබෙන අතර, පන්සලට දන් දී ඇති පින් කුඹුරක්ද ඇත.  පත්තුවේ වලව්ව පිහිටා ඇත්තේ හිනිදුම කල්වාරි දේවස්ථානයත්, හිනිදුම පොලිස් ස්ථානයත් අතර  කුඩා කඳු බිමක වන අතර  හිනිදුම රජයේ තානායම වෙත යන විට මෙම වලව්වව දැක ගත හැකිය.

මහ වලව්ව –

හිනිදුම්පත්තුවේ පාලන කටයුතු කල ඊ.එන්.ඒ. වීරසිංහ නැමැති මුදලිතුමා  1941 වසරේ සිට වාසය කල මුදලි වලව්ව ලෙස හඳුන්වයි. මුදලිතුමා මෙහි වාසයට  පැමිණීමට පෙර මෙහි හිමිකම  ගම් වැසියෙකුට හිමිව තිබූ බව පැවසේ . පසුව මුදලිතුමාට අවහ්‍ය ආකාරයට මෙම වලව්ව සකස් කර ඇත. අක්කර එකහමාරක පමණ භූමි ප්‍රදේශයක් ඇති මෙම වලව්ව අලංකා තාප්පයකින් වට වී ඇති අතර, අඩි 08ක් පමණ උස ගෙට්ටුවකින් ආරක්ෂා වන අන්දමට ඉදිකර ඇත. මෙම තාප්පය දෙපස අලංකාර සිංහ රූප දෙකක් අබා ඇති අකතර, අදටත් මෙම සිංහ රූප දෙක සහිත තාප්පයේ ඉදිරි කොටස දැක ගත හැකිය.  කාමර 16කින් හා මැද මිදුලකින් සමන්විතය. මෙම වලව්වේ අලංකාර පෝටිපෝවක් ඇති අතර, ජනෙල් වලට ඉහලින්  ඇති  කොටසෙහි  මිදි වැලි සහිත අලංකාර නිර්මාණයන් සිදු කොට ඇත.  හිරිකඩ වැටීම වැළැක්වීමට  සෑදූ අලංකාර වැහිකූඩ 02ක් මෙහි  දකුනට ඇත.  මුදලිතුමා නඩු අසන වේලාවන්හිදී  නඩු අසනතුරු ගමු මුලා දෑනීන්ට රැඳී සිටීමට සැදූ කාමර මැද මිදුල වටා දක්නට ලැබේ. මුදලිවරුන්ගේ පාලනය අතරතුර ඉංග්‍රිසීන් විසින් ප්‍රාදේශීය පරිපාලනය දුරටත් ව්‍යාප්ත කරමින් ප්‍රාදේශීය  ආදායම්  පාලක නිලධාරීන් පත් කල පසුව 1942 වසරේ සිට  ප්‍රාදේශීය ආදායම් පාලක කාර්යාලයද පවත්වාගනෙ ගොස් ඇත්තේ මෙම   වලව්වේය. මෙ වලව්ව ඓතිහාසික වටිනාකමකින් යුත් වලව්වක් වන අතර  සංරක්ෂණය කල යුතු ස්ථානයක්ද වේ. සී.සී.බී.වික්‍රමනායක කරුණාරත්න යන අය  මෙම වලව්වේ අවසන් වරට සිට ඇති පිරිමි පුද්ගලයා වන අතර,  තවලම ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ සීසී තනතුරක් තනතුරක් දැරූ පුද්ගලයෙකි.

දැනට මෙම වලව්වේ කාන්තාවන් දෙනෙක් වාසය කරන අතර  අදවන විට මෙම වලව්ව ගරා වැටෙන තත්වයට පත් වී ඇත.

සංචාරක ස්ථානය –  ශ්‍රී විජයානන්ද රජමහා විහාරය.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම පත්තුවේ තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හබරකඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති ශ්‍රී විජයානන්ද රජමහා විහාරය මහනුවර යුගයේ අවසන් පාලන සමයේ කිර්තී ශ්‍රි රාජසිංහ රජතුමා විසින් ඉදි කර ඇතැයි ජනප්‍ර‍වාදයේ පවතී එවකට තවලම ප්‍රදේශයේ ප්‍රාදේශිය පාලකයා ඉංග්‍රීසීන් සමග සටනක් සිදු කර ඇති අතර එම සටන සිදු කළ ස්ථානය නට්ටම්පිටිය ලෙස හදුන්වන බවත් ඒ ගැන රජුගේ සිත පැහැදි විජයානන්ද රජමහා විහාරයේ දාගැබක් හා මල් ආසනයක් ඉදි කර ඇති අතර රජු විසින් පන්සලට ත්‍යාග ලබා දුන් බවටද ජනප්‍ර‍වාදයේ සදහන් වේ.පසුකලක ගාල්ල යටගල රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ නමක් විසින් පන්සල පවත්වාගෙන ගොස් ඇති අතර එවකට සිටි ප්‍රාදේශිය පාලකයා සමග අමනාප කමක් ඇති වී විහාරස්ථානයේ පැවති ඇද්දළ යුගලයක්, කිරි ගරුඩ පිළිම වහන්සේ නමක් හා ලෝකඩ පිළිම වහන්සේ නමක් රැගෙන යටගල රජමහා විහාරයට රැගෙන ගොස් ඇත. දැනටද යටගල රජමහා විහාරස්ථානයේ එම පුරාවිද්‍යාත්මක භාණ්ඩ ප්‍ර‍දර්ශනයට තබා හබරකඩින් රැගෙන ආ භාණ්ඩ ලෙස සදහන් කර ඇත.

තවද මෙම විහාරස්ථානයේ එවකට පැවති දාගැබ වට කොට නව චෛත්‍ය ඉදිකර ඇති අතර අවස්ථා ගණනාවකදීම ගං වතුර තර්ජනයටද මුහුණ දී ඇත.වර්ථමානයේ නව ගොඩනැගිලි ඉදිකිරීමේදී පැරණි ගොඩනැගිලි වල පැවති 1800 ගණන් සදහන් කර ඇති ගඩොල් කැට හමුවී ඇති අතර ඒවා විජයානන්ද රජමහා විහාරස්ථානයේ දක්නට හැකිය. මෙම විහාරස්ථානයේ වසර 240කට පැරණි ඉතිහාසයක් ඇතැයි පැවසේ. ශාස්ත්‍රාචාර්ය හබරකඩ ඉන්ද්‍ර‍ රතන හිමියන් වර්තමානයේ මෙහි භාරකාරත්වය උසුළයි.

පුරාවිද්‍යාත්මක සංරක්ෂණ ස්මාරක අංක : sp -139

                                                                    wn – 001

සංචාරක ස්ථානය –  තවලම අම්බලම.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම පත්තුවේ තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටහේන ග්‍රාම නිලධාරි වසමේ බටහේන මංසන්ධියේ පිහිටා ඇති  අම්බලම  තවලම පුරවරය ඓතිහාසික පසුබිම මනාව පැහැදිලි වන  අතීතයේ ගැල්පිට බඩු පටවාගෙන  වෙළදාමේ ගිය තවලම්කරුවන් සඳහා තම වෙහෙස මහන්සිය ගෙවා ගැනීමට  මෙම අම්බලම ඉදිකර ඇත.  ගිංගඟ ඔස්සේ  ප්‍රවාහනය කල භාණ්ඩ ගැල්වලට පටවා ඇත්තේ මෙම තවලමෙනි.  ශ්‍රී බු.ව. 2458දී දොං කොරනේලීස් විජේසේකර මහතා මෙම අම්බලම ඉදිකර ඇත. කුඩා ආලින්දයකින් සහ කාමරයකින් යුතු මෙම අම්බලමෙහි අසුන් ගැනීමට සුදුසු ආකාරයේ ආසනයක්ද  සවිකර ඇත.  මෙරට උළු වලින් වහලය සෙවිලි කර ඇති අතර, 2018  වර්ෂයේ සංස්කෘතික අමාත්‍යාංශය මලගින් මෙම අම්බලමේ නවීකරණය කටයුතු සිදු කර ඇත.

සංචාරක ස්ථානය –  කන්නැලිය රක්ෂිත වනාන්තරය

කන්නැලිය, දෙදියගල නාකියාදෙණිය  වන සංකීර්ණය  ලංකාවේ නිරිතදිග කොටසට අයත්වන අතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක තුල පිහිටා ඇත.  මෙම වන කලාපය නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තර ගණයට අයත් වේ.  මෙම  වන ත්‍රිත්වය අතරින් සුවිශේෂිම වනාන්තරය වූ කන්නැලිය රක්ෂිතය ගාල්ල දිස්‍තික්කයේ   තවලම ප්‍රාදේශීය කොට්ඨාශය තුල පිහිටා ඇත.  එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 5306කි. සාමාන්‍ය උන්තාංශය මීටර් 60 සිට මීටර් 425ත් අතර වේ.  සාමාන්‍ය උෂ්ණත්වය 27 0 C කි.  සමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය මි.මි. 4445කි. කොන්සලයිට් වර්ගේ පාෂාණ සමග සම්බන්ධ වූ   චානෝකයිඩ් වර්ගයේ  පාෂාණවලින් යුක්තය. රක්ෂිත වනාන්තරයක් ලෙස කන්නැලිය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1934 දීය.  1940 – 1987 දක්වා  වරණීය  ගැලීම් කර ඇත.  අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස   2004 දී ප්‍රකාශයට පත්කර ඇත. කන්නැලිය රක්ෂිතය  තුල   කුඩා පහරවල් සහ දිය මාර්ග රාශියක් ඇත.  කන්නැලිය ඇල, නත්තිකිත්ත ඇල, උඩුගම ඇල යන ප්‍රධාන ඇලවල් මගින් පෝෂණය වී  ගිංගඟට එක් වේ.  කන්නැලිය රක්ෂිතය ඒකදේශීයත්වය අතින් ප්‍රධානත්වයක් ගනී.  තෙත් කලාපීය වැසි වනාන්තර අතරින් මෙම වනාන්තරය විශාල ජෛව විවිධත්වයක් ඇති බව සොයා ගෙන ඇත.කන්නෙලිය දකුණු ආසියාවේ පිහිටි ශෘක සම්පත අතින් ඉහල වටිනාකමකින් යුත්  වනාන්තරයකි.  කන්නෙලිය වනාන්තරය තෙත් කලාපීය වනාන්තර අතරින් ඉහල ආවේණික කාශ්ඨීය  ශාක විශේෂ ප්‍රතිශතයෙන් 60%ක් සතු කර ගනී. 

තවලම ප්‍රාදේශීය  සභාව මධ්‍යයෙහි කන්නෙලිය  රක්ෂිත වනාන්තරය  දක්නට  ලැබෙන අතර, එම වනාන්තරය තුල 418m ඉක්මවන කොන්ඩගල කඳු වැටියද 333m ක් උසින්  යුතු කැකිරිහේන  කන්ද ද පිහිටා ඇත. සමස්ථයක්  ලෙස පහතරට තෙත් කලාපයට අයත් භූ ලක්ෂණ හා උන්තාංශයෙන් යුක්ත කඳුකර ලක්ෂණ පෙන්නුම් කරයි.

ප්‍රදේශය තුල  පවතින  භෞතික  හා පාරිසරික  ලක්ෂණ හේතු කොටගෙන තවලම බල ප්‍රදේශය තුළ  පරිසර  සංවේදී ප්‍රදේශ කිහිපයක් හඳුනාගත හැකි  වේ. ඒ අතරින්  කන්නෙලිය  රක්ෂිත වනාන්තරය, සිංහ රාජ රක්ෂිත වනාන්තරය අභිබවා සිටී. ගිංගඟ  හා නිල්වලා  ගගේ  ඉහළ  පෝෂක ප්‍රදේශය  ආවරණය  කරන කන්නෙලිය  රක්ෂිත වනාන්තරය  තුල  මූල ශාක  විශේෂ 234 ක්ද සත්ත්ව  විශේෂ 60කට  ආසන්න ප්‍රමාණයක් ද පවතී. පවතින ශාක විශේෂ අතරින්  ඒක දේශීය  ශාක  විශේෂ 155ක්ද ජාතික වශයෙන්  වඳවීමේ තර්ජනයට ලක් වී  ඇති ශාක  විශේෂ 106ක්ද  පවතින බව, හඳුනාගෙන  ඇත.  කන්නෙලිය රක්ෂිත  වනාන්තරය තුළ ලංකා ගිරා මලිත්තා, රත්නල් කොට්ටෝරුවා, ලංකා පිල පිච්චා, ලංකා  හිස සුදු  ශාරිකාව, ලංකා හබන් කුකුළා ආදී ඒක දේශීය  පක්ෂි විශේෂ දැකගත හැකිය.  එයට  අමතරව  ඒකදේශීය  ගොළුබෙලි  විශේෂයක් වන  ඇකැවස් පෝනික්ස් (acavus phoenix) කොරි ඇල්ලා  ඇඩම්ස් (corialla Adams)  ආදිය දැක්විය හැකිය.

මෙයට අමතරව ඒක  දේශික උභයජීවීන් ලෙස නනෙප්පැරිස් ගෙන්තේරිස් (Pilatus masutus)  හඳුනාගෙන ඇත. ඒක දේශිය උරගයින්ද,රිලවා, කලවැද්දා ආදී  ඒක දේශීය  ක්ෂීරපායී සතුන්, ඒක දේශීය සමනල විශේෂ, බුලත් හපයා, දන්ඩියා, ලූලා,  වැලිගොව්වා, කාවයියා, ආදා, තෙලියා, පෙතියා, කෙන්දා,  කොරලියා ගංගරා, ආදී ප්‍රදේශයේ  අවේණික  මත්ස්‍ය  විශේෂ බොහෝ ප්‍රමාණයක් හඳුනාගත හැකි වේ.  කන්නෙලියේ පවතින සත්ත්ව  විශේෂ අතරින්  ඒක දේශීය  සත්ත්ව විශේෂ  25ක් ද,  ජාතික වශයෙන්  වඳ වීමේ තර්ජනයට  ලක්ව ඇති සත්ත්ව විශේෂ 13ක්ද,  ගෝලීයව  වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ගණනාවක්ද පවතින බව හඳුනාගෙන ඇත. කන්නෙලිය රක්ෂිතයට අමතරව නිරිතදිග  වැසි වනාන්තර  ගණයට අයත් අවේණික සත්ත්ව  හා ශාක විශේෂ රැසකින් සතු හිනිදුම්කන්ද (හේකොක් රක්ෂිතය) බල ප්‍රදේශයේ  ආගමික හා පාරිසරික වශයෙන් වැදගත් තැනක් ගනී. හිනිදුම කල්වාරි පුදබිම දෙස් විදෙස් කතෝලික ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර

වන සුවිශේෂි පුණ්‍යභූමියකි. දකුණු පළාතේ අසම බිම්කඩ ලෙස හිනිදුම්කන්ද හදුන්වන අතර, එය මනරම් දිය පහර හා  ඇළ දොළ වලින් අලංකාර වී ඇත.

කන්නැලිය රක්ෂිත වනාන්තරය සංචාරකයින්ගේ තෝ තැන්නක් බවට පත් වී ඇති අතර,  ආකර්ශනීය ස්ථාන බොහෝමයක් මෙම රක්ෂිත භූමියේ දැකගත හැකිය. කම්බලේකන්ද මංපෙත, නාරංගස් ඇල්ල මංපෙත, අනගිමල ඇල්ල මංපෙත, කුණකටු කන්ද හරහා අනගි ඇල මංපෙත,  යෝධ නවද ගස මංපෙත,  ගුහාව මංපෙත, යෝධ පුස්වැල මංපෙත, මෙම මංපෙත් ආවරණය කරමින් පහසුවෙන්  වනය නැරඹීම සදහා සංචරන සැලසුම් 03ක් ද සකස් කර ඇත.   මෙහි සමරහර මංපෙත් සඳහා අතීතයේ දර   ගෙනඒම සඳහා සෑදු මංපෙත්ද භාවිතා කරයි.   කන්නෙලිය රක්ෂිතයේ උසම ස්ථානය ලෙස හදුන්වනු ලබන්නේ කොන්ඩගල කඳු වැටියයි.

නාකඳවිල ඇල්ල –

කන්නෙලිය රක්ෂිතයේ වීරපාන බටහිර සීමාවේ පිහිටා ඇති නාකඳවිල ඇල්ල අඩි 25ක් 30ක් පමණ උසට විහිදී යන දිය ඇල්ලකි. ස්වාභාව සෞන්දර්යෙන් අනූන  මෙම දිය ඇල්ල නැරඹීම සඳහා දෛනිකව සංචාරකයින්  විශාල ප්‍රමාණයක් පැමිණේ.  මෙම ඇල්ල  කි.මී. 01ක් පමණ ගලා ගොස්  තුන්මෝදරින් හුලංදාව හුලංදාව ඇලට සම්බන්ධවේ. එය ගලා ගොස් නිල්වලා ගඟට එකතු වේ.  මෙම ඇල්ල පිහිටි  සීමාවේ ගැඹුර 06ක් 07ක් පමණ වන අතර  පළල අඩි 15ක් පමණ වේ. තවද, භූගෝ විද්‍යාත්මකව  මෙම ඇල්ලෙහි ජලය පතිතවන ස්ථානයෙහි ගල් වලවල් නිර්මාණය වී ඇත.  පතිරණ සාලයා නැමැති මත්ස්‍ය විශේෂය හඳුනා ගනු ලැබූවේ  මෙම ඇල්ල ආශ්‍රිතවය. 

ආවුධගල ආරණ්‍ය සේනාසනය –

මෙම ආරණ්‍ය සේනාසනය  හබරකඩ දුංහේන රක්ෂිතය ආශ්‍රිතව  පවතින ඉතා අලංකාර හා  ස්වාභාව සෞන්දර්යෙන් අනූන නිසසල පරිසරයක් පවතින ස්ථානයකි. වර්තමානය වන විට මෙම ස්ථානය දැක බලා ගැනීමට  බැතිමතුන් මෙන්ම විශාල සංචාරක පිරිසක්ද පැමිණේ.  ඓතිහාසික වශයෙන් මෙම ස්ථානය  වැදගත් වනුයේ  වලගම්බා රජ සමයේදී  වලගම්බා රජුන්ගේ  ආයුධ රැස්කර තබා ගත් ස්ථානය ලෙස හඳුන්වනු ලැබූ හෙයින් මෙය ආවුධගල නම් වීය. මහල් 04කින් පමණ සමන්විත ගල් පර්වත වලින් නිර්මාණය වී ඇති ගල් ලෙනක්  මෙම භූමියෙහි පවතින අතර, 2000ක පමණ පිරිසකට මෙම ලෙනෙහි සිටීමට හැකි බව පැවසේ.  මෙම ආවුධගල ආශ්‍රිතව හෙවිස්ස නම් ප්‍රදේශයක් පවතින අතර මෙයට හෙවිස්ස යන නම ලැබී ඇත්තේ  වළගම්බා රජුගේ හේවායන් 20 දෙනෙකු  එම ස්ථානයේ රැකවලෙහි යෙදී සිටි බැවිනි.  තවද මෙම භූමිය ආශ්‍රිතව  ගලා බසින ජල දහරාවක් මෙන්ම දිය ඇලි කිහිපයක්ද ඇත.

රජවංගල ආරණ්‍ය සේනාසනය –

තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට  අයත් ඕපාත  ප්‍රදේශයෙහි  මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත.  ආගමික කටයුතු වලට  ඉතාම යෝග්‍ය භූමියක් වන මෙය ස්වභාව සෞන්දර්යාත්මකව සිත් ඇඳ බැද  තබා ගන්නා ස්ථානයක් ලෙසද හැදින්විය හැකිය. භාවනායෝගීව වෙසෙන ස්වාමීන්වහන්සේලා  වෙසෙන  කුටි මෙම භූමියෙහි තැන් තැන්හි දක්නට ඇත.

සැකසුම : අයි.ආර්. නාලනී සංවර්ධන නිලධාරී

Translate »