Home » නුගගල ආරණ්‍ය සේනාසනය සංවර්ධණ ව්‍යාපෘති

නුගගල ආරණ්‍ය සේනාසනය සංවර්ධණ ව්‍යාපෘති

KONICA MINOLTA DIGITAL CAMERA
KONICA MINOLTA DIGITAL CAMERA
KONICA MINOLTA DIGITAL CAMERA
KONICA MINOLTA DIGITAL CAMERA

                                                                    

Text Box: ‘‘ඵලදායී සේවාවක් තුළින් ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රශස්ථ සභාව බවට පත්වීම’’                                                                                

ව්‍යාපෘති නාමය :-  නුගගල ආරණ්‍ය සේනාසනය සංචාරක ආකර්ශනීය

ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම

හැදින්වීම:

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම් පත්තුවේ හිනිදුම ග්‍රාම නිලධාරී වසමේ නුගගල මාවතේ කෙළවරට වන්නට මෙම නුගගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ පිහිටා ඇති සිත සනසාලන ගිමන්හලක් ලෙස  ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගනිමින් දිවි කතරින් එතෙරවීමට මග කියා පාන තෝ තැන්නක් ලෙස නුගගල ආරණ්‍ය හදුන්වා දිය හැකිය.

 වර්ෂ 1954 මැයි මස 04 වන දින දී තවලම අමරසිංහ මහතා සහ හබරකඩ ඩේව් කරුණාරත්න  මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබූ නුගගල ආරණ්‍ය,  හොරණ ඉංගිරිය බෝධිනාගල ආරණ්‍ය මගින් මෙහෙය වනු  ලබන ශාඛාවකි. 1943 වර්ෂයේ සිට මේ දක්වා නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ හිදුනු ලබන්නේ යාලගල සුමනජෝති වහන්සේය. උන්වහන්සේ පැවිදි දිවියට එක්ව මේ වන විට වසර 50ක කාල සීමාවක් වන අතර උන් වහන්සේ භාවනායෝගීව කාලය ගත කරනු අතරතුර අපූර්ව නිර්මාණ බිහි කරමින් නුගගල ආරණ්‍ය ඉතාම අර්ථවත් ස්ථානයක් බවට පත් කර ඇත. මෙම ආරණ්‍ය සේනාසනයේ ආරම්භයේදී  මැටිවලින් නිර්මාණය කරන ලද ආවාස ගෙයක් තිබී ඇති අතර, අදටත් කුටි ගෙවල් කිහිපයක් දක්නට ලැබේ.  දැනට පවතින ආවාස ගෙය අබලන් තත්වයේ  පවතින අතර  විශාල ගල් පර්වතයක් අභ්‍යන්තරයෙහි නිර්මාණය කර ඇති බුදු කුටිය  සිසිලස පිරුණු  සිත නිවාලන  ස්ථානයක් ලෙස  දැක ගත හැකිය.  කළු ගලින් නිර්මාණය කර ඇති අවුකන පිළිම වහන්සේගේ  අනුරුව හා සතර වරම් දෙවිවරුන්ගේ  නිර්මාණය  ඉතා දැකුම්කළු නිර්මාණයක් ලෙස හැදින්විය හැකි අතර,  සත් සතියේ විවිධ අවස්ථාවන්  මෛත්‍රී බෝධිසත්වයන්ගේ  අනුරුව නිර්මාණය  හා නාථ දෙවියන්, විෂ්ණු දෙවියන්ගේ අනුරුව නිර්මාණය හා තවත් සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද අපුර්ව නිර්මාණ ගණනාවක් හා  කොරවක් ගල්  වාමන රූප ආදී  කළු ගලින් නිර්මාණය කරන ලද නිර්මාණ රැසක් මෙම භූමියේ දැක ගත හැකිය. මෙම සෑම නිර්මාණයක්ම  යාලගල සුමන ජෝති  ස්වාමීන්වහන්ගේ දෑතින්ම නිර්මාණය වීම එහි ඇති සුවිශේෂත්වයයි. තවද,  ඉදිරියේදී  කොසොල් රජතුමාගේ හීන දහසය කළු ගලින් නිර්මාණය කිරීමට    උන්වහන්සේ  බලාපොරොත්තුව සිටින බවද  සඳහන් කරනු ලැබීය.  ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ  වන ලැහැබ මැදින් දිය මංකඩ පසු කරමින් කන්දේ ඉහළට ගමන් කිරීම  වෙහෙස ගෙන දෙන්නක් වුවද ස්වභාදම් පහස විදින්නෙකුට එම වෙහෙස මදකටවත්  නොදැනේ. ස්වාමීන් වහන්සේගේ  දානය සකස් කිරීමට  අඩුම කුඩුම රැගෙන එන දායක දායිකාවන්  ඉතා වෙහෙසකර  ගමනක් නිම කර  රැයක් නතර වී සිට  උන්වහන්සේගේ දානය පිළි ගන්වා  නික්ම යයි.  තවද, මෙම දායක දායිකාවන් රැගෙන එන වියලි සලාක  වසරකට වරක් නැති බැරි දුප්පත් මිනිසුන් වෙනුවෙන් බෙදා දීමට   උන්වහන්සේ අමතක නොකරයි. මෙවන් වූ අසරිමත් ස්ථානයක් සංවර්ධනය කර  එහි ස්වාභාවිකත්වයට හා  ආගමික පසුබිට හානි නොවන ආකාරයෙන් සංචාරකයින් සඳහා  දැක බලා වැද පුදා ගැනීමට සැලැස්වීම මගින්  මෙම ස්ථානය  දකුණු ලක ආකර්ශනීය සංචාරක ස්ථානයක් බවට පත් කළ හැකිය. 

ව්‍යාපෘති ප්‍රදේශය:-

තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නුගගල ආරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගයේ සිට නුගගල ආරණ්‍ය සේනාසන භුමියෙහි නිර්මාණ සිදු කර ඇති ප්‍රදේශයන්ට ජනතාවට පිවිසීමට පහසු වන ආකාරයට   සංවර්ධනය කිරීම.

ව්‍යාපෘති ක්‍රියාවලිය

  •  නුගගල ආරණ්‍ය සේනාසනයට පිවිසෙන  මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට  මීටර් 300ක් පමණ දුරට කොන්ක්‍රීට් යොදා මාර්ගය සකස් කිරීම
  • ආරණ්‍ය සේනාසනයේ ඉහළ කොටසේ මාර්ගයේ ස්වාභාවිකත්වය දිස්වෙන ආකාරයට 200m ප්‍රදේශය කළු ගල් මගින් පඩි සකස් කිරීම
  • ආරණ්‍යයට පිවිසෙන මාර්ගයේ මධ්‍ය කොටසේ  හරහා ගලා බසින  දොලට ඉහළින්  ගමන් කල හැකි සේ වැල් පාලමක් සකස් කිරීම
  • වැසිකිළි දෙකක් සකස් කිරීම
  • ආවාස ගේ ප්‍රතිසංස්කරණය කිරීම
  • නිර්මාණ ආරක්ෂා වන පරිදි  ආවරණ සෑදීම
  •  ඉදිරියේදී නිර්මාණය කිරීමට ඇති නිර්මාණ සිදු කිරීමට ප්‍රතිපාදන ලබා දීම
  • සංචාරය සඳහා පැමිණෙන්නන්ට විශ්‍රාම ශාලාවක් සකස් කිරීම
  • ජලනල පද්ධතිය සංවර්ධනය කිරීම

ව්‍යාපෘති පසුබිම

සුන්දර හිනිදුම් පත්තවේ කන්නෙලිය රක්ෂිතයට නෑකම් කියමින් පිහිටා ඇති නුගගල ආරණ්‍ය සේනාසනයෙහි ස්වාභාවික පිහිටීම හා එහි පාරිසරික වට පිටාවෙන් ලැබෙන  වටිනාකම මෙන්ම එහි නිර්මාණය කර ඇති  නිර්මාණ වලින් එහි අගය තව තවත් තීවුර කරයි.  කළු ගලින් මෙන්ම  සිමෙන්තියෙන්ද නිර්මාණය කර ඇති මෙම පිළිම වහන්සේලා හා බුදුදහමේ හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් විදහා පාන   මෙම නිර්මාණ සුමනජෝති ස්වාමීන් වහනසේ දෑතින් නිර්මාණය වී ඇති අපූර්වත්වය විශ්මය ජනකය.

මෙවන් වූ නිර්මාණ වලින් අලංකරණය වූ මෙම ආරණ්‍ය සේනාසනය විවිධ රූපවාහිනී වැඩසටහන් ඔස්සේ විවිධ අවස්ථා වල විකාශනය කර ඇත. කල්වාරි දේවස්ථානයට කිතුනු බැතිමතුන්ට වැද පුදා ගැනීමට ඇති වටිනා ස්ථානයක් සේම මෙම නුගගල ආරණ්‍ය සේනානසනය බෞද්ධයන්ට මෙන්ම දෙස් විදෙස් ජනතාවටද දැකබලා වැදපුදා ගැනීමට  සංවර්ධනය කර සකස් කර දීම මෙමගින් බලාපොරොත්තු වේ. එහි යටිතල පහසුකම් සංවර්ධනය කරමින් මෙම ස්ථානය  සංචාරක ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීම මගින්  නුගගල ආරණ්‍ය සේනාසන භූමියට මනා වටිනාකමක් ලබාදීමට හැකියාවක් ලැබෙනු ඇත.

අරමුණු

  • කන්නෙලිය වනාන්තරය හා කල්වාරී දේවස්ථානය නැරඹීමට පැමිණෙන ජනතාවට මෙම පූජනීය ස්ථානය ද නැරඹීමට  නැඹුරු කිරීම
  • බෞද්ධ ජනාතවට දැක බලා වැදපුදා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ප්‍රචලිත කිරීම
  • ස්වාභාවිකත්වය හා පූජනීයත්වය ආරක්ෂවන අයුරින් සංවර්ධනය කිරීම
  • ප්‍රාදේශීය සභාවට මෙන්ම බල ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය, සමාජ තත්වය  ඉහල නැංවීමට  අවස්ථාවක් කර ගැනීම

ඉලක්කගත කණ්ඩායම

  • කන්නෙලිය වන උද්‍යානය නරඹන්නන් කල්වාරි දේවස්ථානයට පැමිණෙන්නන් හා හිනිදුම් පත්තුවේ සංචාරයේ යෙදෙන දෙස් විදෙස් ජනතාව

ප්‍රතිලාභීන්

  • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව
  • ප්‍රාදේශීය සභාව
  • පළාත් පාලන දෙපාර්තමේන්තුව
  • සංචාරක අමාත්‍යාංශය
  • සංචාරය සඳහා පැමිණෙන දේශීය විදේශීය ජනතාව
  • ග්‍රාමීය කර්මාන්ත හා  දේශීය නිෂ්පාදන කරුවන්

තිරසර බව

නුගගල ආරණ්‍ය සේනාසනය සංචාරක ආකර්ශණීය ස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියෙහි  එහි තිරසර පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් සාධකයක් ලෙස හදුන්වා දිය හැකිය. රක්ෂිත වනය මධ්‍යයේ පිහිටි ගත සිත නිවහාලන ස්ථානයක් වන මෙම ස්ථානය සංවර්ධනය කිරීම මගින් හිනිදුම්පත්තුවේ සංචාරය කරන්නන්ට නවමු අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. මාර්ගය සකස් කිරීම වැල් පාලම සකස් කිරීම හා පඩිපෙල සකස් කිරීම මගින් භූමියට පිවිසෙන මාර්ගවල දුෂ්කරතාවයන් අවම කිරීම තුළින් එහි පිවිසෙන්නන්ගේ වෙහෙස මහන්සිය අවම කරනු ලැබේ.

එසේම පවතින නිර්මාණ සංරක්ෂණය වන ආකාරයට අව්වෙන් හා වැස්සෙන් ආරක්ෂා වන අයුරින්  ආවරණ සකස් කිරීම තුළින්ද  එහි ආරක්ෂාව තහවුරු කිරීම සිදු කරනු ලබයි.  තවද දැනට පවතින ස්ථාන ප්‍රතිසංස්කරණය හරහා එහි කල් පැවැත්ම  ආරක්ෂා කර ගත හැකිය. එසේම නව නිර්මාණ සිදු කිරීම මගින් ස්ථානයේ ආකර්ශනීයත්ව තිවූර කිරීමේ හැකියාවක් පවති.  ඉදිකිරීම් කටයුතු වලදී පාරාසරික බලපෑම් ඉතා අවම මට්ටමක පැවතීම හා අතුරු අනතුරු නොමැති බැවින් තිරසර බව ආරක්ෂා වේ.

ව්‍යාපෘති කළමානරණය

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සංචාරක අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා මඟ පෙන්වීම යටතේ දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි. තවලම ප්‍රාදේශීය සභාව මඟින් මෙම ව්‍යාපෘතිය සිදු කරගෙන යාම සිදු කරන අතර   සංචාරක අමාත්‍යාංශය හරහා ප්‍රතිපාදන හිමි වනු ඇත. මෙහිදී ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි  කොන්ත්‍රාත් කරුවන් මඟින් ප්‍රාදේශීය සභාවේ හා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ව්‍යාපෘතියේ පරිපාලන කටයුතු ඉහත සඳහන් ආයතන හරහා සිදු කරනු ලබන අතර, ව්‍යාපෘතිය ආරම්භයේ සිට අවසානය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම ආයතනයන්හි උපදෙස් හා මෙහෙයවීමත් මත සිදු කරනු ලබයි. ව්‍යාපෘතිය හරහා ඉලක්ක ගත කර ගනු ලැබූ ප්‍රතිලාභීන්ට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි අයුරින් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ලගා කර ගැනීම සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතිය කළමනාකරණයේදී අවධානය යොමු කරනු ලබයි.

ව්‍යාපෘති අධීක්ෂණය හා ප්‍රගති පාලනය

 මෙම නුගගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සංචාරක අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම හා අධීක්ෂණය යටතේ තවලම ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙහිදී ව්‍යාපෘතිය මඟින්  අපේක්ෂිත අරමුණු හා  පරමාර්ථ කරා ලගා වීමට අවශ්‍ය ඉලක්ක සපුරා ගැනීමේ වගකීම ප්‍රාදේශීය සභාව සතුය.  අඛණ්ඩ අධීක්ෂණය හා කළමනාකරණය යටතේ උසස් ප්‍රමිතියකින් යුත් සංවර්ධන ව්‍යාපෘතියක්  සිදු කිරීම මෙහිදී බලාපොරොත්තු වේ.

ස්ත්‍රී / පුරුෂ සමාජභාවය

මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රතිලාභ ලබා දීමේදී කාන්තා පාර්ශවයට හා පුරුෂ පාර්ශවය යන කොටස් දෙකටම ප්‍රතිලාභ හිමි වන අතර මෙහිදී ග්‍රාමීය නිෂ්පාදන අලෙවිය හා ස්වයං රැකියා සිදු කිරීම තුළින් කාන්තාවන්ට සුවිශේෂී ස්ථානයක් හිමි වනු ඇත.  ගම්මිරිස්, කුරුඳු වැනි සුළු අපනයන බෝග මෙන්ම කිතුල්පැණි, කිතුල් හකුරු හා රස කැවිලි අලෙවිය නවාතැන් පහසුකම් සැපයීම හා  ආහාර සැපයීම හරහා කාන්තාවන් දායක කර ගැනීමට අපේක්ෂා කරයි.

ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම

නුගගල ආරණ්‍ය සේනාසනය  නැරඹුම් ස්ථානයක් ලෙස හා බෞද්ධ ජනතාවගේ ආගමික සංහිදියාව ඔප නංවන ස්ථානයක් ලෙස සංවර්ධනය කර  දෙස් විදෙස් ජනතාවට සංචාරය කළ හැකි ස්ථානයක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු වේ.

කන්නෙලිය  රක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති මෙම ආරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගයේ සිට එහි අභ්‍යන්තරය මෙන්ම ඉන් ඔබ්බටද  රක්ෂිත වන අරණක අපූර්වත්වය විඳදරා ගැනීමේ හැකියාව ඇත.

 එබැවින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමේදී එහි පාරිසරිකත්වයට හානි නොවන අයුරින්   කිසිදු ව්‍යාපෘති කටයුත්තක් සිදු නොකිරීමට බලාපොරොත්තු වනු ඇත.  එනම් භූමියට පිවිසෙන මාර්ගය ආරම්භ වන්නේ ගම්මානයකින් වන අතර, එම අඩි පාර දෙපස තේ වගාව සිදු කරනු ලැබූ ඉඩම් දක්නට ලැබේ. මෙම අඩි පාර මීටර් 300ක් වන තෙක් කොන්ක්‍රීට් කිරීම සිදු කරනු ලැබූවද එමගින් එහි ස්වාභාවිකත්වයට හානි ගෙන දෙනු නොලැබේ. එනම් එම අඩිපාර තේ වගා භූමි  මධ්‍යයේ පිහිටා තිබීම ඊට හේතුවයි.  ඉන් ඉහළට පිවිසීමේදී මද බෑවුම් සහිත කෙටි කන්ද තරණය කළ යුතු අතර,  එහිදී රක්ෂිත වනය මැදින් අඩි පාර සකස් වී ඇත. මෙම  කොටසෙහි පවතින තත්වය වෙනස් කිරීමට අදහස් නොකරන අතර ඉන් ඉහලට ගමන් කිරීමේදී පිවිසෙන අඩිපාර හරහා ගමන් කරන දොල වැසි කාලයට පිටාර ගැලීම හේතුවෙන් ආරණ්‍ය භූමියට පිවිසීමට නොහැකි තත්වයක් ඇති වේ. එම ගැටළුව විසඳා ගැනීමට වැල් පාලමක් සකස් කිරීමට මෙම ව්‍යාපෘතිය මගින්  යෝජනා කර ඇත.

පවතින ස්වාභාවික පරිසරයට හානි නොවන ආකාරයට එහි සුන්දරත්වය ආරක්ෂා වන අයුරින් මෙම වැල් පාලම සකස් කිරීම සිදු වන බැවින් එමගින් පාරිසරික බලපෑමක් සිදු නොවේ තවද වනයේ ගස් කැපීමකින් තොරව මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.  ඉන් ඉහලට ගමන් කිරීමේදී බෑවුම් සහිත ප්‍රදේශය ගමන් කිරීමට පහසු වන ආකාරයට  කළු ගල් වලින් සමන්විත පඩිපෙල් සකස් කිරීමේදී  පාරිසරික ස්වාභාවිකත්වය ඉස්මතු වන අයුරින් නිර්මාණය කිරීම සිදු වේ.  නායයෑම් ජල ගැලීම් ආදී ස්වාභාවික ව්‍යසන වලින් තොර ස්ථානයක් ලෙස පවතින මෙම භූමියෙහි ඉදිකිරීම් කටයුතු වලදී පරසරයට හානි නොවන ආකාරයට සිදු කිරීම මගින් සිදු වන පාරිසරික බලපෑම ඉතා අවම මට්ටමක පවතිනු ඇත.

විධායක සාරාංශය

සංචාරක ආකර්ශනීය ස්ථාන හදුනා ගැනීම සඳහා වන ව්‍යාපෘති යටතේ  නුගගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කර බෞද්ධයන්ට මෙන්ම අන්‍යාගමික ජනතාවටද සංචාරක රසාස්වාදය ලබා ගැනීමට හැකි ස්ථානයක් ලෙස ගොඩ නගා ගැනීම මගින් තවලම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සමාජ ආර්ථික තත්වය ඉහළ නංවා ගැනීමේ විශේෂ අවස්ථාවක් වනු ඇත.  එසේම ප්‍රදේශයේ සංචාරයට පැමිණෙන්නන් සඳහා දැක බලා ගැනීමට හැකි විශේෂ ස්ථානයක් ලෙසද  මෙම නුගගල ආරණ්‍ය සේනාසනය හදුන්වා දිය හැකිය.

දකුණු පළාත් සංචාරක අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන හරහා තවලම ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හඳුනා නොගත් ස්වාභාවික සම්පත් 

මනාව හඳුනාගෙන එය මහජනතාවගේ ශාරීරික හා මානසික තෘප්තිය සඳහා විවර  කර දීමට කටයුතු කිරීම බල ප්‍රදේශයේ ජනතාවගේ සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීමට වටිනා තෝ තැන්නක් වනු ඇත. මෙ ව්‍යාපෘතිය අධීක්ෂණය හා මාර්ගෝපදේශකත්වය 

දකුණු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබමින් අප විසින් එහි නිවැරදි ක්‍රමවේදයකට අනුව තෝරාගනු ලැබූ ලියාපදිංචි කොන්‍ත්‍රාත්කරුවන් මගින් මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සිදු කර ගෙන යාමට  අපේක්ෂිතය.

පැමිණෙන සංචාරකයින්ගේ සුඛ විහරණය සලසමින්  තවලම ප්‍රාදේශීය සභා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහළ නැංවීමද මෙම ව්‍යාපෘතියේ අරමුණු අතර වේ. එමගින් මෙම ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබන ග්‍රාමීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හා අලෙවිය සිදු කිරීමද තවත් අරමුණක් ලෙස හැදින්විය හැකිය.  සකස් කරනු ලැබූ ඇස්තමේන්තු හා කාල රාමුවට අනුව සිදු කරනු ලබන ව්‍යාපෘති ක්‍රියාකාරකම් මේ සමඟ සම්බන්ධ වන රාජ්‍ය ආයතනයන්හි හා ඒ හා සම්බන්ධ නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ හා මඟ පෙන්වීම යටතේ සිදු වන අතර පසු විපරම් සිදු කරමින් ව්‍යාපෘති ඇගයීමද සිදු වේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව එහි ආර්ථික සමාජීය ප්‍රගති විශ්ලේෂණය කිරීමද ඉතා වැදගත් වන අතර එමගින් රටේ සංවර්ධනය වීමටද දායක විය හැකිය.

ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන අයුරින් පාරිසරික බලපෑම් අවම වන ආකාරයට  තිරසර පැවැත්මක් සඳහා අධීක්ෂණ සිදු කරමින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීම මඟින් තවලම ප්‍රාදේශීය සභාවට පමණක් නොව දකුණු ලකටම නව සංචාරක ස්ථානයක් ලෙස මෙය ඉතා වැදගත් ස්ථානයක් වේ යැයි විශ්වාස කළ හැකිය.

සැකසුම : අයි.ආර්. නාලනී සංවර්ධන නිලධාරී

Translate »