Home » ආංගිරි ඇල්ල ව්‍යාපෘතිය

ආංගිරි ඇල්ල ව්‍යාපෘතිය

2. විධායක සාරාංශය

තවලම  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට  අයත් කුඩුගල්පොල  ග්‍රාම නිළධාරී වසමේ වේවැල්  දොලෙහි පිහිටි ස්වභාවික දිය තටාකයක් සේ තිබෙන වර්ග මීටර් 100ක් පමණ පුරා විහිදී  ඇති මෙම දියෙන් පිරුණු වල දිය නෑම සඳහා  බොහෝ දෙනෙක් ප්‍රිය කරති.

ගල් මතින් ඇද හැලෙන නිලට නිලේ  පිරුණු  දිය දහරාවන්ගෙන් මෙන්ම මහා වෘක්ෂ ලතාවන්ගෙන් යුක්ත වූ භූමිය දඩු ලේනන්ගේ මියුරු හඩින් හා කුරුල්ලන්ගේ මිහිරි රාවයෙන් සිත් මෝහනය කරයි. විඩාබර ගත සිතට සදා සුවය ලබා දෙන මෙකී දිය වල පිරි භූමිය තුළ  පැයක් දෙකක් හෝ ගත කරන්නට  ලැබෙන්නේ නම්,  එහි යන කවර කෙනෙකුට වුවද  ස්වභාව සෞන්දර්යයේ  ආස්වාදය විඳ දරා ගන්නට  හැකි වනු ඇත.

තවලම ප්‍රධාන මාර්ගයේ සිට මෙම  ස්ථානයට යාමට මීටර් 400ක් පමණ දුරක් ඇත. ඒ සදහා නිසි මාර්ගයක් නොමැති අතර, දොල අයින දිගේ අවධානම් සහගත ගමනක යාමට සිදුව ඇත. දිය වල පිහිටි  ස්ථානයටද යාමට නිසි මගක් නොමැති අතර, අඩි 12ක් පමණ පහලට යාමට සිදුව ඇත්තේ ගල් පර මතින් වැල්වල ආධාරයෙනි.

මෙම ස්ථානයේ  දිය නෑම සඳහා සුදුසු ස්ථානයක් බවට පත්කර දෙන ලෙසට බොහෝ  දෙනෙකු  තවලම ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටින ලදී. එම  නිසා මෙම ස්ථානය සංවර්ධනය කිරීමෙන් පසු ජනතාවට විනෝදාස්වාදය  ලබා දිය හැකි  අන්දමේ ස්ථානයක් බවට  පත් කිරීම මෙහි මූලික පරමාර්ථය වේ. මෙම  ව්‍යාපෘතිය සැප්තැම්බර් මාසයේ  පටන්ගෙන දෙසැම්බර් මාසයේ  අවසන් කිරීමට නියමිතය. ශ්‍රමදායකත්වය ප්‍රාදේශීය සභාවෙන් ලබාදෙන අතර, මේ සදහා  මූල්‍ය  සම්පත්  පළාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන් හා පළාත් සභාවෙන් ලබා ගැනීමට නියමිතය. මෙහි ප්‍රතිලාභීන්  ලෙස  ප්‍රදේශයේ ජනතාව හා සංචාරකයින් අපේක්ෂා කරන අතර, වක්‍ර ප්‍රතිලාභීන් 50ක් පමණ බිහි වීමට නියමිතය. මෙහි මූලික වියදම රු. 3630000.00ක් පමණ වේ.

3.ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සංවිධානය පිළිබඳ විස්තර

 මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආයතනය  ලෙස තවලම  ප්‍රාදේශීය සභාව පෙන්වා දිය හැකි අතර, “ගාලු දිස්ත්‍රික්කයේ  ප්‍රශස්ථ ප්‍රාදේශීය සභාව බවට  පත්කිරීම” යන දැක්ම යටතේ බල ප්‍රදේශයේ  ජනතාවගේ සුඛ විහරණය  පහසුව සහ සුභ සාධන  පහසුකම්  ආරක්ෂා කිරීම  හා ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පොදු  මංමාවත්  සහ පොදු උපයෝගිතා සේවාවන්ට  අදාල සියලු  කරුණු  සිහිපත් කිරීම හා පරිපාලනය කිරීම මෙහෙවර වන්නේය. බල ප්‍රදේශයේ මහජනතාවට අවශ්‍ය  සේවය අවංකව විනිවිද භාවයෙන් හා වගකීමෙන් යුක්තව කාර්යක්ෂමව ඵලදායී ලෙස ලබාදීම අරමුණ වන්නේය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා සභාව සතු  භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද ප්‍රයෝජනයට ගත හැකිය.

(ඇමුණුම 01)

4.ව්‍යාපෘතියේ පසුබිම

මෙම දියවල සඳහා යාමට නිසි මාර්ගයක් නොමැති නිසා ප්‍රදේශයේ  ජනතාව විවිධ අසීරුතාවලට ලක් වී ඇත. කුඩා ළමුන් මෙම ස්ථානය වෙත ප්‍රිය කළද, එහි ඇති අනාරක්ෂිතභාවය නිසා දෙමව්පියන් ඔවුන්  රැගෙන යන්නේද නැත.  මෙම ස්ථානයේ දිය නෑම සදහා සුදුසු  ස්ථානයක් බවට පත්කර දෙන ලෙසට සභාවෙන් ඉල්ලා ඇත.

5. ව්‍යාපෘතියේ අරමුණු හා පරමාර්ථ

මෙම ස්ථානයට ලගා වීමට හැකිවන පරිදි මාර්ගයක් සකස් කරදීම හා අනෙකුත් පහසුකම්  සලසා දීම  මෙහි ප්‍රධාන අරමුණ  ලෙස පෙන්වා දිය හැකිය. මෙහි පවතින තුරුලතා  ආදියට හානියක් නොවන පරිද්දෙන් හා එම භූමිය සංරක්ෂණය වන පරිද්දෙන් මෙහි සියළු ඉදිකිරීම් සිදු කිරීමට අපේක්ෂිතය. මාර්ග හා අනෙකුත් සේවාවන් ඉටු කිරීම තුළින්  මෙහි බොහෝ  දෙනෙක්  පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැක.  එමගින්  ප්‍රාදේශීය සභාවට  ආදායමක් ද උපයා ගැනීමට හැකිවනු ඇත.

6. ව්‍යාපෘති පිළිබඳ විස්තර

තවලම බටහේන හන්දියේ සිට පිටිගල මාර්ගයේ මීටර් 400ක් පමණ ගොස් නැවත කුඩුගල්පොල පාර හරහා දිවෙන අතුරු මාර්ගයක් ඔස්සේ  කිලෝමීටර් 1 ½ ක් පමණ දුර යා යුතුව ඇත.  එතැන් සිට මෙම වේවැල් දොල දිගේ  මීටර් 400ක් පමණ පහළට යා යුතුව ඇත. දියවල පිහිටි  ස්ථානයට ද මාර්ගයක් නොමැති අතර, ගල්පර මතින් අඩි 12ක් පමණ පහලට බැසීමට සිදුව ඇත. වර්ග මීටර 100කින් පමණ විශාලත්වයකින් යුත් මෙම දියවල  ගල්පර මතින් ඇද හැලෙන  දිය කඳෙන්  හෑරුණ එකකි. එම ස්ථානය විශාල ගැඹුරකින් යුක්තය.

මේ  සඳහා ප්‍රාදේශීය සභාවේ සම්පත් ප්‍රයෝජනයට  ගැනීමට නියමිත අතර, තාක්ෂණික නිලධාරී මහතාගේ උපදෙස් ලබා  ගැනීමටද  නියමිතය. මානව සම්පත්  ලෙස  කම්කරුවන්ගේ ශ්‍රමයද යොදා ගත හැක. මේ සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවලින් කොටසක්  එනම් ලී, ගල්, වැලි ප්‍රදේශයෙන්ම සපුරා ගත හැක.

(ඇමුණුම 2)

7. ඉලක්ක ගත කණ්ඩායම් හා ප්‍රතිලාභීන්

මෙම දියවල සංවර්ධනය කිරීම නිසා ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මෙම ස්ථානයට දිය නෑමට හා විනෝදාස්වාදය සදහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැක. වසරේ මුල් මාස කිහිපය තුළ කල්වාරිය වැඳපුදා ගැනීමට පැමිණෙන බොහෝ පිරිසක් මෙම ස්ථානයටද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. වසරේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල්,  අගොස්තු, දෙසැම්බර් මාස වලද ළමයින් සමග පැමිණෙන පිරිසක්ද අපේක්ෂා කළ හැකිය. ඒ සියලු දෙනාම මෙහි ඉලක්කගත කණ්ඩායම් ලෙස පෙන්වා දිය හැකිය.

විදේශ සංචාරකයින්ගේ පැමිණීමද මෙහි ඉලක්කගත කණ්ඩායම් ලෙස හැදින්විය හැකිය.

මෙම ප්‍රදේශයේ බහුලව දක්නට ලැබෙන පැණි හකුරු කර්මාන්තය ප්‍රදේශයේ කලින් කලට හට ගන්නා දූරියන් වැනි පළතුරු වර්ග ප්‍රදේශයේ විවිධ නිර්මාණ සංචාරකයන්ට ලබා දී, ඒ තුලින් මුදල් ලබා ගැනීමට හැකි වීම මෙහි වක්‍ර ප්‍රතිලාභීන් ලෙස පෙන්වා දිය හැකිය.

8. ව්‍යාපෘති ක්‍රියාත්මක සැලැස්ම ( වැඩ සැලැස්ම / ක්‍රියාත්මක සැලැස්ම )

  • ප්‍රධාන අතුරු මාර්ගයේ සිට දියවල පිහිටි ස්ථානය තෙක් අඩි 2ක් පමණ පළලකින් යුත් ගල් පඩි මාර්ගයක් ඉදිකිරිම.
  • දියවලට ඉහළින් ඇති ස්ථානයේ ඇවිදීම අනාරක්ෂිත නිසා වැටක් වැනි දෙයකින් එම ස්ථානය සුරක්ෂිත කිරිම.
  • දියවලට බැසීම සදහා අඩි 4ක් පමණ පළලකින් යුත් පඩි පෙළක් සකස් කිරීම.
  • දියවල කොටස් 3කට ‍ බෙදා අඩු ගැඹුරු මධ්‍යම ගැඹුරු හා වැඩි ගැඹුරු වශයෙන් වෙන් කර තැබීම හා එම ස්ථානවල  ගැඹුර සටහන් කර තැබීම.
  • පිරිමි/කාන්තා වශයෙන් ඇදුම් මාරු කිරීම සදහා ස්ථාන දෙකක් සකස් කිරිම.
  • කුඩා ප්‍රමාණයේ විවේකාගාරයක් සකස් කිරීම.
  • ගැහැණු/පිරිමි වැසිකිළි දෙකක් ඉදි කිරීම.
  • ප්‍ර‍‍‍‍‍වේශ පත්‍ර නිකුත් කිරීම සදහා කුඩා ප්‍රමාණයේ කුටියක්ඉදි කිරීම.
  • අවවාදාත්මක දැන්වීම් පුවරු සකස් කිරීම.

      9.  ව්‍යාපෘති කළමණාකරණය

        මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේදී දැනට ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරින්ගේ සහ සේවකයන්ගේ සහාය ලබා ගැනීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්පුර්ණ කිරිමෙන් පසු සේවකයන් දෙදෙනක් පමණ බදවා ගැනීමට නියමිතය. මෙම ‍සේවකයන් සම්මුඛ පරික්ෂණයක් මඟින් බඳවා ගැනිමට නියමිත අතර මෙම වේවැල්දොල දොළ පිහිටි ග්‍රාම නිලධාරි වසම වන කුඩුගල්පොළ ග්‍රාම නිලධාරි වසමේ අඩු ආදායම් ලාභී පවුල් වලින් සේවකයන් තෝරා ගැනිම සිදු කරනු ලබයි. එම සේවකයන් කොන්ත්‍රාත් පදනම මත මුලදි බඳවා ගැනීම සිදු කරනු ලබන අතර ඔවුන්ගේ වගකීම මැනවින් ඉටු කිරීමේ පදනම මත සේවය ස්ථිර කිරීමට නියමිතය.

              මෙහි ඉදිකිරීම් සම්බන්ධව සියලුම කටයුතු තාක්ෂණ සේවා නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන අතර එම ස්ථානය සංවර්ධනය වූවායින් පසු ආදායම් නිලධාරින් යටතේ පාලනය කිරීමට නියමිතය.

10. ඇස්තමේන්තුගත පිරිවැය හා ආදායම් ලබන ව්‍යාපෘතියක් නම් වියදම් විස්තර පිරිවැය විශ්ලේෂණය.

  • පිරිමි ගැහැණු වශයෙන් ඇඳුම් මාරු කරන ස්ථාන දෙකක් ඉදි කිරීම.
  • පිරිමි ගැහැණු වශයෙන් වැසිකිළි 2 ක් ඉදි කිරීම.
  • කුඩා ප්‍රමාණයේ විවේකාගාරයක් ඉදි කිරීම.
  • ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා කුටියක් ඉදි කිරීම.

11. ව්‍යාපෘති අධීක්ෂණය සහ ප්‍රගති පාලනය

මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට  අවසානය  දක්වා ඉන්පසු වැඩ නිම වීමෙන් පසුද  අදාල ක්ෂේත්‍ර නිලධාරීන් වන  තාක්ෂණ සේවා නිලධාරී, පරිසර නිලධාරී, ප්‍රජා සංවර්ධන නිලධාරී, ආදායම් පරීක්ෂක නිලධාරීන් විසින් සතියකට වරක් ක්ෂේත්‍ර පරීක්ෂා  සිදු කිරීමට නියමිත අතර,  ඒ සම්බන්ධයෙන් මසකට වරක් ප්‍රගති සමාලෝචන  රැස්වීම් පැවැත්වීමටද නියමිතය.

12.ව්‍යාපෘති ඇගයීම.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර එම භූමිය මේ සදහා යොදා ගත හැකි දැයි අඩවි වන කාර්යාලයේ නිර්දේශය  හා ප්‍රාදේශීය ලේකම්ගේ  නිර්දේශය ලබාගත යුතුව ඇත. එය පෙර ඇගයුම ලෙස පෙන්වා දිය හැකිය. එම අඩවි වන කාර්යාලයේ අවසර පත්‍රයට අනුව තව දුරටත් කරන්නේ දැයි සෙවීම මධ්‍යම ඇගයුම ලෙස පෙන්වා දිය හැකිය. එම ලිපිවල අදාල කොන්දේසි උල්ලංඝනය නොකර ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමෙන් පසු ඇගයුම ලෙස පෙන්වා දිය හැකිය.

13. ව්‍යාපෘතියේ පරිසර බලපෑම

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් අපද්‍රව්‍ය වැනි දේවල් පරිසරයට මුදා හැරීම සිදු කළහොත් පරිසරයට යම් බලපෑමක් ඇති විය හැකිය. එම හානිය පාලනය කිරීම සදහා ක්ෂේත්‍ර පරීක්ෂණ නිලධාරීන්ගේ සහායද  අඩවි වන නිලධාරීන්ගේ කොන්දේසි වලට යටත්ව කටයුතු කිරීම තුලින් පරිසර බලපෑම අවම කළ හැකිය.

14. ස්ත්‍රී පුරුෂ සමාජ භාවය

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුලින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ගැටළුවක් ඇති  නොවන අතර ඉදිකර ඇති සියළුම ඉදිකිරීම් ස්ත්‍රී පක්ෂයට මෙන්ම පුරුෂ පක්ෂයට ද සමානව සිදු කර ඇති නිසා අසමානතාවයක් පෙන්නුම් නොකරයි.

15. ව්‍යාපෘතියේ තිරසාර බව

මෙම ව්‍යාපෘතිය මනා ලෙස දීර්ඝ කාලීන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැලසීම ප්‍රාදේශීය සභාව විසින් සිදු කිරීමට නියමිතය. මෙහි පවතින ගස් වැල් වන සතුන් ආරක්ෂා වන පරිදි පවත්වාගෙන යාමටත් සේවකයන් නිසි ආකාරයට මෙහෙය වීමත් ව්‍යාපෘතිය පිළිබඳ අධීක්ෂණය හා  පසු විපරම් කිරීම තුළින්  මෙම ව්‍යාපෘතියේ තිරසාර බව  ආරක්ෂා වනු ඇත.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් සභාවට අයත් කුඩුගල්පොල ක්‍රීඩා පිට්ටනි භූමියේ අංග සම්පූර්ණ ළමා උද්‍යානයක් ඉදි කිරීමට ද අපේක්ෂා කරයි.

Translate »